Colombo, Featured Articles, Features

ඉඩම් බලතල පිළිබඳ ගැටුම අපට සාමූහිකව විසඳාගත නොහැකිද?

Pic by – www.jds.org
ශ්‍රී ලංකාව වර්ග කිලෝ මීටර 65200 භූමියකින් සමන්විත රටකි. එම රටෙහි ජනගහනයෙන් 57% ආසන්න ප්‍රතිශතයක් තෙත් කලාපයේද 43% ආසන්න ප්‍රතිශතයක් වියළි කලාපයේ ද ජීවත් වෙති. මේ අතරින් 21.5% ප්‍රමාණයක් නාගරික ප්‍රදේශ වලද, 78.5% ප්‍රතිශතයක් ග්‍රාමීය ප්‍රදේශවලද පදිංචි වී සිටිති. ඒ අනුව බලන කල ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ඉඩම් පරිභෝජනය හෙක්ටයාර් 0.4 පමණ වෙති. නමුත් ලංකාවේ වගා කළ හැකි භූමි ප්‍රමාණය ගත් කළ ඒක පුද්ගල ඉඩම් පරිභෝජනය හෙක්ටයාර 0.17 පමණ වේ. මේ අයුරින් සලකා බලන කල ලංකාවේ වනාන්තර වලට, කෘෂි කර්මාන්තයට, වැවිලි කර්මාන්තයට යට කොට ඇති භූමි ප්‍රමාණය ඉවත් කල විට තවදුරටත් වගා කල හැකි නමුත් තවමත් පරිභෝජනයට ගෙන නොමැති ඉඩම් ප්‍රමාණය වන්නේ හෙක්ටයාර් 22000 පමණකි. ඒ අතරින් උතුරු -නැගෙනහිර ප්‍රදේශ තුල පවතින භාවිතයට නොගත් ඉඩම් ප්‍රමාණය යුද්ධයෙන් පසු ගනනය කර නොමැත.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉඩම් අයිතිකරු වන්නේ ශ්‍රී ලංකා ජනරජයයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 33 (D) වගන්තිය අනුව එකී ඉඩම් පරිපාලනය කිරීමේ හා බෙදා හැරීමේ පූර්ණ අධිකාරීත්වය පවතින්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාටය. නමුත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදන 1978 ව්‍යවස්ථාවට හඳුන්වාදීමත් සමඟම, පළාත් සභා බලතලයක් ලෙස ඉඩම් පරිහරණය කිරීමේ බලතල, ජනාධිපතිවරයාගේ බලතල වලට යටත්ව පළාත් සභාවට, 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ II පරිශිෂ්ඨයේ(Adendix) 18 වැනි අයිතමය යටතේ පවරා තිබේ. ඒ අනුව පසුගිය වසර 25 ක ආසන්න කාලයක් තිස්සේ විවිධ පළාත් සභා විසින් තමන් සතුවු මෙම අයිතිය ක්‍රියාත්මක කිරීමට, බලාත්මක කිරීමට උත්සාහ දරා තිබේ. උදාහරණයක් ලෙස ගතහොත් බස්නාහිර පළාත් සභාව තමන්ගේම වූ ප්‍රඥප්තියක් මගින් ඉඩම් බලතල ක්‍රියාත්මක කිරීමේ බලතල හා විධිවිධාන හඳුන්වාදී තිබේ. නමුත් එකී බලතල වසර 2000 සිට මේ දක්වා ක්‍රියාත්මක කිරීමට, ජනාධිපති ලේකම් කාර්යාංශය ඉඩ ලබාදී නැති බවද මෙහිලා සඳහන් කළ යුතුව තිබේ.

බස්නාහිර පළාත ගත් කල විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය තුල ඉඩම් පරිහරණය විධිමත් කිරීමේ බරපතල අවශ්‍යතාවය පවතින දිස්ත්‍රික්කයකි. එහි 40% වන නාගරික දිළිඳු ජනතාව ජීවත් වන්නේ තමන්ට කියා කිසිඳූ ඉඩම් අයිතියක් නොමැතිව, නගර සභාවේ හෝ වෙනත් රජයේ අධිකාරියක බලපත්‍ර ලාභියකු ලෙසටය. මෙකී පුද්ගලයන්ට තම ඉඩම් අයිතිය ලබාදීම මානව අයිතියකි. බොහෝ රිපබ්ලිකන් ආණ්ඩු තම රටේ පදනම ලෙස සලකන්නේ මිනිසාගේ ජීවිතයට ඇති අයිතිය, දේපළ දැරීමට ඇති අයිතිය හා සතුට ලැබීමට ඇති අයිතියයි. (right of life, property of happiness) අවාසනාවකට ශ්‍රී ලංකාවේ බොහෝ ජනයාට මෙකී අයිතිවාසිකම් තුනම භුක්ති විඳීමේ අයිතිය ශ්‍රී ලංකා රජය මගින් අහිමි කර තිබේ. කෙසේ නමුත් සාකච්ඡා සිදු කෙරනුයේ ඉඩම් අයිතිය පිළිබඳව නිසා, ජීවිතයට ඇති අයිතිය හා සතුට ලබා ගැනීමට ඇති අයිතිය ගැන සාකච්ඡා පසෙක තබා අප ඉඩම් ගැන පමණක් කතා කරමු.

මේ වනවිට පළාත් සතු ඉඩම් බලතල භාවිතය පිළිබඳ දැඩි කතා බහක් ඇති වී තිබේ. එයට හේතුව වී ඇත්තේ උතුරට හා නැගෙනහිරට ඉඩම් බලතල ලබාදීම පිළිබඳව ආන්දෝලනයක් ඇති වීමයි. ජනාධිපතිවරයා, ඉන්දීය විදේශ ඇමති හමුවී උතුරට 13+ දෙන බව පැවසුවත්, එසේ සඳහන් කරන ප්ලස්(+) සාධකය තුල ඉඩම් බලතල දෙනවාද නැද්ද යන්න පැහැදිලි නොවීම මෙකී ආන්දෝලනයට හේතුවයි. එසේ දෙනු ඇතැයි සැක කරන ජ.වි.පෙ. සහ හෙළ උරුමය දැනටමත් ඊට එකහෙලා විරුද්ධත්වය පළ කර ඇති අතර, නොදෙනු ඇතැයි සිතන දෙමළ ජාතික සන්ධානය එය එසේම ලබාදිය යුතුයයි හඬ නැඟීම ආරම්භ කර තිබේ. මෙම ප්‍රශ්නය පිටුපස ඇති දේශපාලනය මෙන්ම එහි ඇති හරයාත්මක සාධක ද මූලිකවම හඳුනාගැනීම ප්‍රශ්ණය හෝ අවුල ලිහා ගැනීමට මගකි.

දැන් අප පළාත් සභාවේ ඉඩම් බලතල පිළිබඳව මඳකට අවධානය යොමු කරමු. උතුරත් දකුණත් දේශපාලනිකව අරගල කරන්නේ 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 18.1.3 යටතේ ඉඩම් පැවරීමට පළාත් සභාව සතු බලතල සම්බන්ධයෙන් පමණි. ඉතිරි බලතල කෙසේ වූවද පවතින්නේ මධ්‍යම රජය සතුවය. එනම් අන්තර් පළාත් වාරිමාර්ග යටතට වැටෙන ඉඩම් පූර්ණ වශයෙන් මධ්‍යම ආණ්ඩුව සතුව බලයකි. එසේම මධ්‍යම ආණ්ඩුවට අවශ්‍ය වූ විටක ඉඩම් සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ ඕනෑම තැනක පවතින ඉඩමක්, ඕනෑම අවස්ථාවක පවරාගෙන සංවර්ධනය කිරීමේ බලතල, මධ්‍යම ආණ්ඩුව සතුය.

එසේ නම් අවිශ්වාසය හා සැක සංකාවට ලක්වන ඉඩම් ප්‍රමාණය උතුරු – නැගෙනහිර වශයෙන් ගත් කල ඉතා විශාල ප්‍රමාණයක් නොවේ. ලංකාවේම රජය ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 5404,000 කි. එය මුළු භූමි ප්‍රමාණයෙන් 82.3% කි. ඉන් හෙක්ටයාර 818 – 1000 අතර ප්‍රමාණයකි. එනම් 12.5% – 15.2 % ප්‍රමාණයක් දැනටමත් විවිධ ඉඩම් පවරා දීමේ වැඩපිළිවෙල හරහා බෙදා දී තිබේ. ඉන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමසාරිස්වරයාට පවරා ඇති ප්‍රමාණය හෙක්ටයාර 406 නැතහොත් මුළු රජයේ ඉඩම් ප්‍රමාණයෙන් 6.2% කි. ඒ අනුව මුළු රටේම ඉතිරිව ඇති රජයේ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 4000000 කට ආසන්න වේ. ඉන් 40% ප්‍රමාණයක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වලට අයත්ය. එකී ප්‍රමාණයෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් දැනටමත් පවරා දී තිබේ. ඒ අනුව බලන කල දත්තමය වශයෙන් ගත කල දකුණ, උතුරු හා නැගෙනහිරට බිය වීමට හෝ උතුර හා නැගෙනහිර දකුණෙන් බරපතල ලෙස ඉල්ලා සිටිය යුතු කරුණු ඉඩම බලතල තුල සැඟවී නොමැත. නමුත් දැන් පවතින්නේ ඓෙතිහාසිකව සිංහලයන් හා දමිලයන් අතර පවතින අවිශ්වාසය පදනම් කරගත් තර්කයක් පමණි. මේ සඳහා මූලිකව හේතු වී ඇත්තේ මෙකී ජනවර්ග දෙකම අත්විඳින්නා වූ ද්විත්ව සුළු මානසිකභාවයයි.(Double minority syndrome) එනම් දකුණු ආසියාව තුල සුළු ජාතියක් ලෙස සිතන්නට දමිලයන් පෙළඹවීමත් අතර පවතින මානසිකභාවයන් අතර තරඟයකි.

ඒ නිසාම සිංහල දේශපාලනික කථිකාව තුල ඉඩම් පිළිබඳ ප්‍රශ්ණය රාජ්‍යය ආරක්‍ෂාවට, දකුණේ ඉඩම් පරිහරණයේ සීමා සහිත භාවය තුල, උතුරු – නැගෙනහිරට සංක්‍රමණය වීමේ හැකියාව, උතුරු – නැගෙනහිර දේශපාලනික බලය හා එකී දේශපාලනික බලයට අනුපාතික නොවන ඉතා විශාල ස්වාභාවික සම්පත් පරිහරණයට ඉඩ ලැබීම යනාදී කරුණු ගෙන හැර දක්වන කල, දමිල දේශපාලනික කථිකාව තුල එකී අයිතිය නිජ භූමි සංකල්පය සමග ආබද්ධ කිරීමටත්, එය සංවර්ධනයේ අයිතියක් ලෙස නොව දේශපාලනික අයිතියක් ලෙස හුවා දැක්වීමටත් පෙළඹී තිබේ. නමුත් මේ තර්ක විතර්ක කිසිවක් උතුර හා නැගෙනහිර පළාත් සභා වලට ඉඩම් බලතල ලබාදීමට හෝ නොදීමට තරම් වන තර්ක නොවේ. ලංකාවේ ජීවත්වන උතුරේ වැසියන්ට මෙන්ම දකුණේ වැසියන්ට ද සංවර්ධනයේ අයිතියක් ලෙස ඉඩම් පරිහරණය කිරීමේ අයිතිය, සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතියක් ලෙස ලබාදීමට කාලය පැමිණ තිබේ. ඉඩම් නොමැති කොළඹ නිර්දනයන්ට ද, ඉඩම් නොමැති යාපනයේ නිර්දනයන්ට ද ඇත්තේ එකම ප්‍රශ්ණයකි. එය දෙමළ බැවින් හෝ සිංහල බැවින් වෙනස් නොවේ. ආත්ම ගරුත්වයකින් යුතුව ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ලෙස උතුරෙත් දකුණෙත් එකම හැඟීමකින් උතුරට ඉඩම් බලතල ලබා දෙන යුගය වැඩි ඈතක නොවේ.

(සංවාදයට විවෘතයි)

ශිරාල් ලක්තිලක[Shiral Lakthilaka]