Picture Courtesy: www.griid.org
ගබ්සාව සීමිත අර්ථයකින් ලංකාවේ නීතිගත කොට දැන් බොහෝ කල් ය. දණ්ඩ නීති සංග්‍රහයේ 303 වැනි වගන්තිය යටතේ මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා ගබ්සාවට අවසර තිබේ. මේ නිසා ලෝකයේ ඇතැම් රටවල් සේ, මොනම තත්ත්වයක් යටතේවත් ගබ්සාව පිළිනොගන්නා නීතිමය තත්ත්වයක් ලංකාවේ නැත.
දැන්, ඉහත සඳහන් සාධකයට අමතරව, එනම් මවගේ ජීවිතය බේරා ගැනීමට අමතරව, තවත් සාධක තුනක්, ගබ්සාවේ නීත්‍යානුකුල වලංගු භාවය සඳහා සම්පාදනය කිරීමට සැරසෙයි. ඒවා නම්, ව්‍යභිචාරයේ (ලේ නෑයන් අතර ලිංගික සංසර්ගයේ) ප්‍රතිඵලයක් වශයෙන් ගැබ්බර වූ අවස්ථාවක, ආබාධිත දරුවෙකු පිළිසිඳ ගත් අවස්ථාවක සහ වයස අවුරුදු 18 ට අඩු දැරියක් දූෂණයට ලක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගැබ්බර වූ අවස්ථාවක ආදී වශයෙනි.
මෙවැනි නීතියක් මීට කලින් ද ගෙන ඒමට අපේ බලධාරීන් උත්සාහයක් ගෙන තිබේ. එහි දී, මුස්ලිම් කොන්ග්‍රසය ඊට විරෝධය පෑවේය. ඒ නිසා එම පියවර එදා යට ගියේය. දැන් කතෝලික පල්ලියේ විරෝධය ඊට එල්ල වෙමින් තිබේ. පන්සලේ විරෝධයත් පැනනැගෙනු සිකුරු යි.
මිනිස් සදාචාරය පිළිබඳව නීතිරීති පැනවීමේ දී ආගම් ඔස්සේ දැනමුතුකම් සෙවූ සම්ප්‍රදාය මීට බොහෝ කාලයකට පෙර අවසන් කළ යුතුව තිබුණි. එහෙත්, බලයට පත්වීම සඳහා බාල ජනප්‍රියත්වයත්, ආගමික ආයතනවල අනුමැතියත් පතන පාලන ක්‍රමයන් තුළ තවමත් පන්සල්, පල්ලි සහ කෝවිල් සමාජ ප්‍රතිසංස්කරණවලට හරස්ව සිටී. මිනිස් ජීවිතය සහ සදාචාරය ගැන ඕනෑම ප්‍රශ්නයකට ලෞකික තලයක විසඳුම් සෙවිය හැකි තරමට අද ලෝකය විද්‍යාත්මක ඥානයෙන් සහ සමාජ විඥානයෙන් පොහොසත් ය. උදාහරණයක් වශයෙන්, භයානක මත්ද්‍රව්‍ය භාවිතයට නීතිමය තහංචි පැනවීම සඳහා ඓතිහාසික ආගමික පොතපතක කියැවෙන ඉගැන්වීමක් අවශ්‍ය නැත. ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කිරීමට, ඊනියා සදාචාරමය හේතු පස්සේ නොගොස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නූතන දැනුම සහ සමාජයීය අත්දැකීම් පාදක කරගත හැකිය.
සමාජයේ නූතන දියුණුවේ සන්ධිස්ථාන වශයෙන් සැළකිය හැකි විප්ලවීය වෙනස්කම්වලට එරෙහිව ආගමික ආයතන නැගී සිට ඇති ඉතිහාසය දෙස බැලුවොත්, ඇඟ කිලිපොලා යන තරම් ය. ස්වාමියා මියගිය පසු ගිනි මැලයට පැන බිරිඳ ජීවිතය පුජා කිරීමේ වෘතය ඉංග්‍රීසි ‛අධිරාජ්‍යවාදීන්’ විසින් තහනම් කළ අවස්ථාවේ, ඉන්දියාවේ ‛දේශීය සංස්කෘතිය’ සහ හින්දු ආගම වෙතින් පැනනැගුණු විරෝධය අපි දනිමු. මේ ආකාරයට, අද ගබ්සාවට විරුද්ධ වන කතෝලික පල්ලිය මීට සියවස් කිහිපයකට පෙර වහල් ක්‍රමය අහෝසි කිරීමටත් විරුද්ධ විය. හේතුව, වහල් ක්‍රමය බයිබලයෙන් අනුමත කර තිබීම යි.
‛‛වහලුනි, මේ පොලොව මත සිටින නුඹලාගේ හාම්පුතුන්ට, ක්‍රිස්තුස් වහන්සේට සේ, බියෙන් ද තිගැස්මෙන් ද යුතුව, එක සිතින් සේවය කරව…’’ – එෆෙසියන්ස් 6:5
මෙවැනි ආගමික නියෝග මත ලෝකයා කටයුතු කෙළේ නම් අද ලෝකය පවතිනු ඇත්තේ කොතැන ද? ශුද්ධ වූ පොතපතේ එසේ තිබිය දී පවා, වහල් ක්‍රමය නැති කෙළේ නූතන ශිෂ්ටාචාරය තුළ මානව දයාව සහ මානව නිදහසට පැවරුණු ප්‍රමුඛස්ථානය හේතුවෙනි. ඒ නිසා, බයිබලයේ තිබුණු පලියට වහල් ක්‍රමය ඉවසිය යුතු යැයි අද ලෝකයේ කවුරුවත් කියන්නේ නැත. මේ හා සමානවම, ජාතිවාදය පිටුදැකීම, කාන්තාවට සමතැන දීම සහ සමලිංගික අයිතිය ආරක්ෂා කිරීම වැනි කලක් විවාදාත්මකව පැවති ක්ෂේත්‍ර අද වන විට නිරවුල් වෙමින් තිබේ. එසේ තිබිය දී, තවමත් ලෝකයේ රටවල් 76 ක් සමලිංගිකත්වය විවිධ ආකාරයෙන් තහනම් කරයි. එපමණක් නොව, ඒ අතරින් රටවල් පහක් ඊට එරෙහිව මරණීය දණ්ඩනයත් පමුණුවයි. ඒ රටවල් පහම මුස්ලිම් ය.
මේ නිසා, ලෞකිකත්වය පිළිබඳ ආගමික උපදෙස් සහ පැනවීම් ගැන අතිශයින් පරිස්සම් වීම අවශ්‍ය කෙරෙන අතර, සමාජ ප්‍රගමණයේ නූතන අවශ්‍යතා සමග නූතන දැනුම පිටිවහල් කර ගැනීම අත්‍යාවශ්‍ය කෙරේ. එහි දී, කලලයක් මිනිස් ජීවියෙකු බවට පත්වන්නේ කුමන අවස්ථාවක සිට ද යන්නත්, අනිත් පැත්තෙන් තමාගේ සිරුර පිළිබඳව ගැහැනියක සතු විය යුතු අයිතිය පිළිබඳවත් සළකා බැලීම, ගබ්සා නීතිය පිළිබඳ ප්‍රශ්නයට කේන්ද්‍රීයව අදාළ වන මුඛ්‍ය කාරණා දෙකක් වශයෙන් සැළකිය හැකිය.
මින් පළමුවැන්න ජීවිතයට ඇති අයිතිය සමග බැඳේ. නූපන් දරුවෙකුට ජීවත් වීමට ඇති අයිතිය, උපන් දරුවෙකුට ජීවත් වීමට ඇති අයිතිය තරම්ම යැයි ආගමිකව විශ්වාස කෙරේ. මේ කාරණය අවධාරණය කිරීමට කතෝලික පල්ලිය කරන්නේ දෙවියන් වහන්සේගේ අධිකාරය (බයිබලයේ ලියැවී ඇති ආකාරයෙන්) ඉදිරිපත් කිරීම යි. බුද්ධාගමත් එම මතයම දරයි.
ආගමක් යනු, අවසාන වශයෙන් ගත් කල, උත්පත්තියක් සහ මරණයක් අතර පැවතිය හැකි සහ පැවතිය යුතු යැයි විශ්වාස කෙරෙන සහසම්බන්ධය විග්‍රහ කරන දර්ශනයකි. ඊළඟ ආත්මය සහ සනාථන සංසාරය පවා විග්‍රහ කෙරෙන්නේ මේ ආත්මයේ සන්දර්භය තුළ පිහිටා ය. එහි දී ඇතැම් ආගම් මනුස්ස ජීවිතය පමණක් සැලකිල්ලට ගන්නා අතර, බුද්ධාගම වැනි තවත් ආගම් සකල සත්වයාව සැලකිල්ලට ගනී. මේ සෑම ආගමක්ම, ජීවිතය උත්කෘෂ්ටත්වයේ ලා සළකයි. ඒ කෙතෙක් ද යත්, ජීවිතය දරන්නාට පවා ස්වකීය ජීවිතය උදුරා ගැනීමේ අයිතියක් නැති බව ප්‍රකාශ කිරීමෙනි. එනම්, මගේ ජීවිතය උදුරා ගැනීමට මටවත් අයිතියක් නැත. මේ නිසා, ‛සතුන් මැරීමෙන් වළකිමි’ (පාණාතිපාති) යන ශික්ෂා පදය යටතට ඩෙංගු මදුරුවා ඝාතනය කිරීමත් අඩංගු කිරීම යෝග්‍ය නැතැ යි අත්දැකීමෙන් දැන සිටියත් එය ප්‍රසිද්ධියේ කීමට තරම් ධෛර්යයක් කිසි ධර්ම දේශකයාණන් වහන්සේ කෙනෙකුට අද නැත. (හැබැයි, මනුෂ්‍ය සතුරෙකු මැරීම නිවනට මග යැයි කියන භික්ෂූන් වහන්සේලා නම් සිටිති).
අනිත් අතට, පණුවෙකුගේ ජීවිතයට වඩා මිනිසෙකුගේ ජීවිතයක වටිනාකමක් ඇතැ යි අප කියන විට, එය මිනිසාගේ ඇසින් පණුවාව චිත්‍රණය කොට ලබාගත් ‛සත්‍යයක්’ වන බව අප මතක තබාගත යුතුය. පණුවාගේ ජීවිතය ‛දුකක්’ බව කිසි දවසක පණුවෙකු කියා නැත. කූඩැල්ලා ‛පව්කාරයෙකු’ බව කියන්නේ මෙට්ටයක් උඩ නිදා ගන්නා මිනිසා ය.
සත්ත්ව පැවැත්ම සම්බන්ධයෙන් ගත් විට, ඒ ඒ පැවැත්මේ අර්ථය සාපේක්ෂ වන අතර, කිසි තනි පැවැත්මකට තවත් වෙනස් පැවැත්මක් පිළිබඳ නිරපේක්ෂ අවබෝධයක් ලැබිය නොහැකි බව එහි අර්ථයයි. තවත් විදිහකින් කිවහොත්, සියලු බල පරාක්‍රමයෙන් යුත් සක්විති රජෙකුගේ සතුටට වැඩි සතුටක් බොර දියක පීනන මාළුවෙකු නොවිඳිති යි කීමට නම්, යමෙකු එක විට, රජෙකු සහ මාළුවෙකු ද විය යුතු බව යි.
දැන් මෙය, විද්‍යාව මගින් නූතනයේ අත්පත් කරගෙන ඇති භෞතික දැනුම සමග පටලවාගත යුතු නැත. ඉස්සරට වඩා සත්ව හැසිරීම් රටා සහ ප්‍රජනන රටා ගැන පුළුල් අවබෝධයක් අද විද්‍යාවෙන් සපයයි. එය, ස්වභාව ධර්මය සහ මනුෂ්‍යයා අතර පවතින භෞතික සම්බන්ධය පිළිබඳ අගනා පාඩම් රැසක් අපට කියා දෙයි. එය අපේ ජීවිතවලටත්, ස්වභාව ධර්මය තේරුම් ගැනීමටත් ප්‍රයෝජනවත් වෙයි. එහෙත් මේ කිසි ඥානයකින්, උපන් දා සිට මරණය තෙක් එක දිගට විඳවන කිසි සතෙකු ඇති බවක් මේ දක්වා සොයාගෙන නැත. එබැවින් ඒ සෑම සත්ත්ව පැවැත්මක් තුළම විඳවීම වාගේම ‛වින්දනය’ ද තිබිය යුතු යැයි අපට සාධාරණ උපකල්පනයකට එළැඹිය හැකිය.
ගබ්සාව සහ සහන ඝාතනය (සුව කළ නොහැකි සහ අධික වේදනාවෙන් පෙළෙන රෝගියෙකු මරණයට පත්කිරීම) වැනි නූතන සමාජ අවශ්‍යතාවන්ට විරුද්ධ වීම ‛සදාචාරමය වගකීමක්’ යැයි කෙනෙකු සළකන්නේ නම්, ඉහත කී ‛විඳවීම’ සහ ‛වින්දනය’ යන සාධක දෙක මිස, දෙවියන් වහන්සේ කෙනෙකුගේ නියෝගයක් හෝ සංසාර කර්ම චක්‍රයක නියාමයක් එම ‛සදාචාරයට’ පාදක කර ගැනීම මනෝඥ නැත. (ඊළඟ සතියට)
ගාමිණි වියන්ගොඩ[Gamine Viyangoda]