[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]
ජිනීවාහි හිම පතනයන් සිදුවන්නේ වර්ෂයකටම වරකි. දෙවරකි. හිරු රැස් මහ පොලවට ගලා එන්නට වූ කළ ඒ සුදෝ සුදුවන් හිම අහිංසක ලෙස දියව යන්නේ සාංකාවක් ද ඉතිරි කරමිනි.
එනමුත් අපේ ශ්‍රී ලංකාවට පතිත වූ රාජපක්ෂ භිෂනයේ හිම පතනය එළෙස අහිංසක ලෙස වේදිකාවෙන් බැස යන පාටක් නැත. අත්දකින්නට තරම් අප අවාසනාවන්ත වු මෑත සිදුවීම් විසින් පෙන්නුම් කරන්නේ රාජපක්ෂ භීෂණයේ හිම දියව යන්නේ උණු ලේ වලින් පමණක් බව ද? මහරජානන් ලෙස ස්ත්‍රෝත්‍ර ගායක ජනමාධ්‍ය විසින් දිවා රෑ පින්තාරු කරන ලද ජනාධිපති රාජපක්ෂගේ පඩුපුල් අසුන රත්වන්නේ පුරවැසියන්ගේ උණු ලේ වලින් පමණක් ද?
ඝන වූ හැම දෙයක්ම අවසානයේ දී දිය වී යාමට නියමිත බවත් එනයින්ම මිනිසාට අවසානයේ දී සැබෑ යතාර්තයට මුහුණ දීමට සිදුවනු ඇති බවත් මාක්ස් සහ එංගල්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයෙහි ලීවේ ය. සමාජ දේශපාලන යථාර්තය තේරුම් ගන්නා මහා ජනයා අවධිවීම වැළැක්වීමට කවර හෝ ව්‍යාජ ගාම්භීරත්වයකටවත් ලේවැකි මර්දනකාරී පාලනයකටවත් අහස උසට තැනූ ප්‍රදර්ශණ පුවරුවලටවත් නොහැකි ය. නමුත් බලයෙන් ගිනි කණ වැටෙන පාලකයින් ඒ බව තේරුම් ගන්නේ නැත.
රාජපක්ෂ පාලනයේ එවැනි ගජ මිතුරන් ගණනාවක්ම මෙයට වසරකට පෙර සිටියේ කිසිදා ඇද නොවැටෙනු ඇතැයි යන සිතුවිල්ලේ ය. ලිබියානු අඥාදායකයා වූ මුවමර් ගඩාෆි ඉන් අයෙකි. බුරුම බෞද්ධයිනගේ ලේ සාගර මගින් සිය යකඩ සපත්තු දෝවනය කර ගත් එරට ඒකාධිපති තාන් ෂේ සිටියේ ද සදාකාලික රජකු පරිද්දෙනි. තනි පාලනයක් ගෙන යන වෙනිසියුලාවේ ෂාවේස් ද ඉරානයේ මුලධර්මවාදී අහම්දිනිජාඩ් ද දැන් සිටින්නේ සෙළෙවෙන දත් ලෙස ය. රාජපක්ෂ පාලනයේ තවත් ගජ මිතුරු රාජ්‍යක් වූ පකිස්ථානය එහි ඉතිහාසයේ බරපතලම අර්බූදයන්ට මුහුණ දී සිටී. ගඩාපිගෙන් පසු ජනාධිපති රාජපක්ෂගේ ගජ මිතුරු ජායාරූපයන්හි පෙනී සිටි මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් නිෂාඩ් නියමිත කාලයට ඛෙහෝ කල් තබා අද ගෙදර තනි රකී.
ජනාධිපති රාජපක්ෂ විසින් යුද හමුදාව අධි සූදානමකින් තබා ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලද්දේ පෙබරවාරි 10දා ය. එදිනම ජනාධිපති රාජපක්ෂ විදේශ ගත විය. මෙලෙස යුද හමුදාව අධි සුදානමකින් තබා ඇත්තේ ත්‍රස්තවාදීන් විසින් කළබල ඇති කිරීම වැලැක්වීමට බව රජයේ නිවේදනයේ සදහන් විය. මෙකී ත්‍රස්තවාදී ක්‍රියා මොනවාදැයි එම නිවේදනය මගින් හෝ වෙනත් ප්‍රකාශයක් මගින් හෝ ආණ්ඩුව පාර්ලිමේන්තුවට හෝ ජනතාවට පැහැදිළි කළේ නැත.
ආණ්ඩුවේ නිවේදනය සැබෑ කරමින් පෙබරවාරි 10දිනය වටා ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදී සිදුවීම් ගණනාවක්ම වාර්තා විය.
පෙබරවාරි 11 දා නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගෙන වධ හිංසා ඇතුළු හිරිහැර පැමිණවී යැයි පොලීසියට ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ කොළඹ වැල්ලවත්තේ පදිංචිව සිටි රාමසාමි ප්‍රභාකරන් නම් ව්‍යාපාරිකයා නඩු විභාගයට දින දෙකක් තිබිය දී පැහැර ගන්නා ලදී. ඔහු පැහැර ගන්නා ලද්දේ ඔහුගේ බිරිඳ සහ දියණිය ඉදිරිපිට දී ය.
ආණ්ඩුව තෙල් මිලට ගිනි තබන ලද්දේ එදින රැයෙහි ය. අනතුරුව එළඹුන දිනයන්හි ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව පාරට බැස සාමකාමී උද්ඝෝෂණයන්හි නිරත වූ මහා ජන පිරිස් වෙත අධි සූදානමකින් තබා තිබූ යුද සහ පොලිස් හමුදා ලවා මර්දනයක් දියත් කරන ලදී.
පෙබරවාරි 13 දින කොළඹ අලූත් කඩේ අධිකරණ සංකීර්නය ඉදිරිපිට දී මැතිස් චන්ද්‍රපාල නම් සැකකරුවකු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැර ගන්නා ලද්දේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පාර හරහා ගෙන යමින් සිටිය දී ය. එම පැහැර ගැනීම සිදුවූයේ පොලිස් නිලධාරීන් නිතර ගැවසෙන ආරක්ෂිත ප්‍රදේශයකදී වුවත් පැහැර ගත් සුදු වැන් රථය ලූහුබැඳ යාමක් සිදු වූයේ නැත.
පෙබරවාරි 14 දින එම පැහැර ගැනීමට එරෙහිව සාමකාමී විරෝධයක නිරත වූ මැතීස් චන්ද්‍රපාලගේ බිරිද සහ දියණියන්ට පොලීසිය පහර දුන් බව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කළේ ය.
පෙබරවාරි 14 දින උදෑසන කොළඹ නාරාහේන්පිට බොත්ජු මාවතෙහි හදුනාගත නොහැකි වන පරිදි පුලූස්සා දමන ලද මළ සිරුරක් ප්‍රදර්ශණයට දමා තිබුණි. එවැනි පෙදෙසක මෙවැනි බිය ගැන්වීමක් කිරීම එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවේ. මේ වනාහී දෙසතියක් තුළ කොළඹ අවටින් සොයා ගැනුනු හත්වන නාදුනන මළ සිරුර බව යුක්තිය වෙබ් අඩවිය සදහන් කළේ ය.
මිට අමතරව පෙබරවාරි 14 දින රාත්‍රි 8.30ට පමණ දෙහිවල පදංචි 42 හැවිරිදි ව්‍යාපාරිකයකු සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැර ගන්නා ලද බව සිලෝන් ටුඩේ වෙබ් අඩවිය වාර්තා කළේ ය.
පෙබරවාරි 15 දින උදෑසන ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව උද්ඝෝෂනයක නියුතු වු ධීවරයිනට පොලිස් විශේෂ කාර්්‍ය බලකාය විසින් වෙඩි තබා එක් අයකු ඝාතනය කොට තවත් ගණනාවකට තුවාල සිදු කරන ලදී.
එදිනම ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සාමකාමී උද්ඝෝෂකයක නියුතු වූ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් වෙත දරුණූ කදුළු ගැස් ප්‍රහාරයක් එල්ල කළ පොලීසිය උද්ඝෝෂකයිනගේ පා ගමන වැලැක්වීමට පියවර ගත්තේ ය.
අපට මෙම කරුණු මගින් පෙන්නුම් කැරෙන්නේ ඇත්ත වශයෙන්ම නම් යුද හමුදා අධි සූදානමකින් තැබීමේ නියෝගය පිටු පස වූ දේශපාලන ත්‍රස්තවාදී සැළැස්ම තිබුණේ ආණ්ඩුව අත බව යි. එනම් මේ තාක් නොවි විරු පරිදි ඉන්ධන මිල එක රැයින් ඉහළ දැමීමත් ඊට එරෙහිව පැන නගින මහජන විරෝධයක් බලය යොදා යටපත් කිරීමත් ය. එම හමුදා නියෝගය ප්‍රකාශයට පත්කර පැය 24ක් ගිය තැන එනම් 11දා මැදියම් රැයෙහි පැට්රල් රුපියල් 12කින් ඩිසල් රුපියල් 31කින් සහ භූමිතෙල් රුපියල් 35කින් වැඩි කරන ලදී. එය මහා ජනයාට එරෙහිව මුදා හරින ලද රාජ්‍ය ආර්ථීක ත්‍රස්තවාදයක් විය.
ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නාක් මෙන් මේ අව් අස්සේම රුපියලේ අගය ඩොලරයට 121 දක්වා පහළ බැස්සේ රටින් ගෙන්වන ආහාර ද්‍රව්‍ය යනාදියේ ද මිල සියයට 10කින් ඉහළ යැවීමේ අනතුරු ඇතිව ය. තෙල් ගින්න පැතිරෙමින් විදුලි බලය ද ප්‍රවාහණ ගාස්තුද සියයට 20කින් තරම් ඉහළ යවන ලදී.
මෙම උග්‍රවන ආර්ථීක ප්‍රශ්ණ හමූයේ මහා ජනයා කුපිත වීමට ඉඩ ඇති බවත් කුපිත වන මහා ජනයා වීදි අරක් ගත හොත් එය ආණ්ඩුවට අභියෝගයක් වනු ඇති බවත් රාජපක්ෂ පාලනය කල්පනා කළ බව පෙනේ. ඒ අනුව එය සාධාරණ මහජන දුක්ගැනවිලි උද්ඝෝෂනික ප්‍රකාශනයක් බවට පත් වීම වැළැක්වීම පිණිස යුද හමුදාව යෙදවීමට තීරණය කර තිබූ බව පසුව ඇති වූ සිදුවීම් කෙරෙන් අනාවරණය වෙයි. සමාජ පරිසරය බිය ගැන්වෙන පරිදි කොළඹ අවට පැහැර ගැනීම් වැළක්ම දියත් වුයේ ද පුළුස්සා දමන ලද මළ සිරුරක් ප්‍රදර්ශනය කැරුනේ ද මෙම පසුබිම තුළ ය. ඒ වනාහී රාජ්‍ය දේශපාලන ත්‍රස්තවාදය යි.
කෙටියෙන් අපට මෙසේ මෙම තත්ත්වය ගොනු කළ හැකි ය. ඉන්ධන මිල වැඩි කිරීම විසින් මෝරා එමින් තිබූ කැරලිකාරිත්වකට පාදක විය හැකි විෂය මූල තත්ත්වයන් ගිනි ගන්නා උෂ්ණත්වය කරා ළගා කළේ ය. යුද හමුදාව පාරට කැදවන ලදී. අවසානයේ දී 33 හැවිරිදි ධිවරයකුගේ හිස පසා කරගෙන යන පරිදි ත්‍රස්තවාදී ක්‍රියා වැලැක්වීමේ වෙඩි උණ්ඩයක් ගමන් කළේ ය. උණු ලේ මිහිතලය සිප ගනිද්දී වෙඩි පහරට ඉලක්ක වූ ධීවරයා රෝහළ කරා යැවුණේ යතුරු පැදියකිනි.
වහාම රාජපක්ෂ ආණ්ඩුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ධීවරයිනට සහ විදුලි බලය නොමැති නිවෙස් වලට ඉන්ධන සහනාධාරයක් ලබා දෙන බවයි. ලේ හැලෙන තුරු රාජපක්ෂ පාලනයට ධීවරයින්ගේ හෝ දුප්පත්ම ජන කොටස් හි අමාරුව දැනුණෙ නැත. ලේ රස නොදෙන තාක් සහන ලැබුණේ නැත.
මඳකට ආපස්සට ගොස් පුද්ගලික අංශයේ සේවක සේවිකාවනට බලයෙන් දීමට ගිය විශ්‍රාම වැටුපට එරෙහි අරගලය කරා යමු. එම පනතට එරෙහිව පුද්ගලික අංශයේ වෘත්තීය සමිති විශාල විරෝධතාවයක් ගොනු කළෝ ය. එසේ වුවද පොලීසිය ලවා වෙඩි තබා රොෂාන් චානක ඝාතනය කර සිය ගණනාවකට තුවාල කොට ඒ ලේ රස බලන තුරුම රාජපක්ෂ පාලනය එම පනත ඉල්ලා අස්කර ගත්තේ නැත. ඇන්ටනි මෙන්ම වෙඩි වැදුනු රොෂාන් රෝහලට ගෙන යාමටවත් පොලීසිය උත්සුක වූයේ නැත.
ධිවර උද්ඝෝෂනයේ යෙදුණු ඇන්ටනි සහ නිදහස් වෙළද කලාප උද්ඝෝෂනයේ යෙදුණු රොෂන් – ඒ දෙදෙනාගේම මරණ රාජපක්ෂ ආණ්ඩුවේ ඉහත කී ලේ පිපාසාවේ ගොදුරු නොවේ ද? එකී රුධිරයෙන් මහ පොළව රතු වන තුරුම මහාජනයාගේ සාධාරණ ඉල්ලීම් වලට ආණ්ඩුව සවන් දුන්නේ නැත. මේ ලේ පිපාසයම සරසවි සිසු සිසුවියන්ගේ ලේ බීමට දකවන කැමැත්ත අදාළ ඇමැත්තන්ගේ මුහුණේ ලියැවී තිබේ. ලේ නැතිව පඩුපුල් අසුන රත් නොවන්නේ ද?
එනයින් අද ශ්‍රී ලංකාවෙහි දේශපාලන අර්ථයෙන් ත්‍රස්තවාදය තිඛෙන්නේ කොහි ද?
සුනන්ද දේශප්‍රිය[Sunanada Deshapriya]