සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Peace and reconciliation

උගත් පාඩම් කොමිසමට පෙර සිංහල සමාජය නින්දෙන් අවදි විය යුතුය.


18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, උගත් පාඩම් කොමිසම, සරත් ෆොන්සේකා හිරේ දැමීම, භාරතගේ ඝාතනය, දුමින්ද සිල්වා අත්අඩංගුවට නොගැනීම, විශ්ව විද්‍යාල වල බෝම්බ පිපිරවීම, සුදු වෑන්, සංවර්ධනය මුවාවෙන් කොළඹ ජනයාගේ ගෙවල් බලහත්කාරයෙන් අත්පත් කරගෙන කඩා ඉවත් කිරීම, ජනතා නියෝජිතයින් ස්ත්‍රීන් දූෂණය කිරීම, (කලක පටන් මෙය සිදු වුනත් දැන් විදේශිය ස්ත්‍රින් පවා දූෂණය කිරීම දක්වා දුරදිග ගොස් තිබේ.) මර්ව්න් සිල්වා හා ගෝලයින්ගේ කප්පම් සංදර්ශනය වැනි දහසකුත් කාරණා සිදු වෙද්දීත් ශ්‍රි ලංකාවේ සිංහල සමාජය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් වෙනුවෙන් හූල්ලමින් සිටී. (නමුත් ලිබියාව ඇතුලු අරාබි රටවල නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළිබඳ අරගලය හූල්ලමින් සිටින තැනට වඩා බොහෝ දුර ගොස් තිබේ.)

කලකට පෙර අප ඕවට වගකිව යුත්තන් නොවේ යැයි අඟවමින් එකී ප්‍රශ්න ප්‍රභාකරන් හා යුද්ධය මත පටවමින් ඇග බේරා ගැනීමේ න්‍යායක සිංහල සමාජය එල්බ සිටියෝය. නමුත් දැන් යුද්ධය හා ප්‍රභාකරන් යන ප්‍රශ්න දෙකම අවසන්ය. එහෙත් ශ්‍රි ලංකාවේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය යන ප්‍රශ්න එක තැන පල්වී, කුණුවී, ගඳ ගහන තත්වයක පැවතියද එය තේරුම් ගත් බවක් සිංහල සමාජය තුළ පෙනෙන්නට නැත. මා මෙම ප්‍රශ්නය සිංහල සමාජය වෙත එල්ල කරන්නේ ශ්‍රී ලංකාවේ දමිළ සමාජය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය තේරුම් ගත්තේ 1940 ගණන් වලටත් පෙර සිටි බැවිනි. ඔවුන් ඒ සඳහා හරි හෝ වැරදි හෝ ක්‍රියා මාර්ග ඔස්සේ අරගල කලේය. යුද්ධය අවසන් වූ පසුත් ඔවුන්ගේ එම උත්සාහය අවසන් වූ බවක් පෙනෙන්නට නැත. නමුත් සිංහල සමාජය තමන්ගේ එකම තර්කය (මේ හැම දෙයටම වගකිව යුත්තා ප්‍රභාකරන්) පුස්සක් වූ පසුත් පසු වන්නේ එකම තැනකය. එවැනි දීර්ඝ කාලීන යුද්ධයක් පවා ඇති වූයේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයක් නිසා බව පිළිගැනීමට සිංහල සමාජය තවමත් මැළි කමක් දක්වයි.

කෙසේ නමුත් සිංහල සමාජයට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය තේරුම් ගැනීමට කොතෙකුත් අවස්ථා තිබුනද එය නිවැරදිව තේරුම් ගත්තේ නැත. මන්ද යත් ඔවුන් හැම විටම ඇග බේරා ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ නිසාය. කලකට පෙර නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද ප්‍රශ්නයට මූලිකම හේතුව විවෘත ආර්ථිකය බව කියා ප්‍රශ්නය ඒ මත පැටෙවුවේය. පසුව විවෘත ආර්ථිකය හඳුන්වාදුන් ආණ්ඩුව මාරු කර වෙනත් ආණ්ඩුවක් බලයට ගෙන ආවේය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නය තවත් උග්‍ර වූවා මිස එම ප්‍රශ්නය විසඳුනේ නැත. පසුව සියලු දෙනාම එකතුවී චන්ද්‍රිකාව එලවා මහින්ද බලයට ගෙන ආවේය. මහින්ද නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීම පිළිබඳ සිංහල ජනතාවගේ ප්‍රධාන තර්කය වූ යුද්ධය යුද්ධයකින්ම අවසන්
කලේය. ඉන් පසු ප්‍රශ්නය විසඳුනාද? නැත ඔහුගේ ආණ්ඩුව යටතේද මාධ්‍යවේදීන් ඝාතනය විය, පුද්ගල පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම් තවමත් සිදු වෙමින් පවතී. විපක්ෂයේ මන්ත්‍රීන් බිලි බා ගනිමින් ආණ්ඩුවට ඒකාධිපති ස්වරූපයක් ගෙන ආවේය. ඒ හරහා 18 වන සංශෝධනය අනුමත කරවා ඒකාධිපති ස්වරූපය තවත් තහවුරු කළේය. ඒකාධිපති නායකයා හැකි තරම් තම පවුලේ සාමාජිකයින් පාලනයට හවුල්කර ගත්තා පමණක් නොව තම ආණ්ඩුවේම මන්ත්‍රී වරුන් පාගා දැමීමට ඔවුන් යොදා ගත්තේය. ආරක්ෂක ලේකම් වැනි රජයේ ප්‍රධාන පරිපාලන තනතුරු වලට හමුදා නිලධාරින් පත්කර බිය මුසුවූ පරිපාලන ක්‍රමවේදයක් නිර්මාණය කළේය. ආණ්ඩුවේ සිටින කුඩු මුදලාලිලා සහ වාචාලයන් යොදවා තමාට

විරුද්ධ වන සියළු දෙනාට ශාරිරික වත් මානසිකවත් හිංසා කරමින් සිටී. දැන් සිංහල ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීම පිළිබඳ තර්කය පටවන්නේ කාටද? කොතැකටද ? එය මර්වින් සිල්වාටද ? නැත. එය දුමින්ද සිල්වාටද ? නැත. එය රනිල් වික්‍රමසිංහටද? නැත. එය සරත් ෆොන්සේකාටද? නැත. එය ගෝඨාභයටද? නැත. එය මහින්ද රාජපක්ෂටද? නැත. මේ කොතැනකින් වත් ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ නැත. එනිසා සිංහල ජනතාව දැන්වත් නින්දෙන් නැගිට ප්‍රශ්නය අනෙකා මත පැටවීමේ පුරුද්දෙන් මිදී, ප්‍රජාතන්ත්‍රවාද අහිමි වීමේ සැබෑ මුලයන් සොයා, එය විසඳීම සඳහා දමිළ හා මුස්ලිම් ජනතාවගේ පංගුකාරීත්වයක් ගොඩනැගිය යුතුව ඇත. විසඳුම් සොයන ක්‍රියාවලියේදී සිංහල සමාජය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ යුතු අතර එවිට නිතැතින්ම අප රටේ දමිළ හා මුස්ලිම් ප්‍රජාව ඊට හවුල් වනු ඇත.

එකී කාර්යයේදී සිංහල ජනතාව පළමුවෙන්ම කළ යුත්තේ තමන් මෙතෙක් කලක් දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙලී සිටි මිත්‍යාවන් හදුනාගෙන ඒවායින් මිදීමය.

එහි පළමුවැන්න වන්නේ ආණ්ඩු මාරු කිරීමේ මිත්‍යාවයි. මෙතෙක් කලක් අප සිතුවේ ජනතා සිතුම් පැතුම් වලට නොගැලපෙන ආණ්ඩුවක් අපට තිබේ නම් එම ආණ්ඩුව ඉවත් කර වෙනත් ආණ්ඩුවක් පත් කිරීමෙන් අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන බවයි. එය කලකට පෙර නිවැරදි විය හැකිව තිබුනත් දැන් එය යල් පැන ගිය තර්කයකි. ඒ අනුව දැනට බලයේ සිටින එක්සත් ජනතා නිදහස් සංධානය ඉවත්කර, විපක්ෂය හෝ වෙනත් පක්ෂයක් බලයට ගෙන ආවත් අප දැනට මුහුණ දෙන ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටළු වලට පිළිතුරු ලැබෙන්නේ නැත.

ආණ්ඩු මාරුවකින් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් විශ්වාසනීය ජනතා නියෝජිතයන් පත් කර ගැනීමේ ක්‍රියාවලියක් අපට තිබිය යුතුය. එවැන්නක් ද අපට නැත. දැනට අප සතු මැතිවරණ ක්‍රියාවලිය තුළ ජනතා නියෝජිතයින් ලෙස අපට ලැබෙන්නේ සිල්වලා වැනි මැරයින්, මිනීමරුවන්, වංශලා වැනි වාචාලයින් වැන්නවුන්ය. අපට ආණ්ඩු මාරුවක් කළ හැකි වුවත් ඉහත කී නියෝජිතයන් ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරාවි යැයි බලාපොරොත්තු විය හැකිද? මැතිවරණයකට අදාල සමස්ථ ක්‍රියාවලිය තුළම රැදී ඇත්තේ අවිශ්වාසයේ පදනම පමණි. විශේෂයෙන් මැතිවරණ කොමසාරිස්වරයා අපක්ෂපාතී ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ යැයි හැගීමක් පසුගිය මැතිවරණ වලදී ඇති නොවුනි.

පාර්ලිමේන්තු ක්‍රමය ගත්තද අද එය ජනතාවට විහිළු සපයන ආයතනයක් බවට පත්ව තිබේ. කරුණු පැහැදිලි කර ගැනීම සඳහා විපක්ෂය පාර්ලිමේන්තුව තුල දී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්නයක් ඇසුවොත් ඔවුන්ට බැනුම් අසා ගැනීමට හෝ ගුටි කෑමට සිදුවේ. පසුගිය දිනක විපක්ෂයේ මන්ත්‍රී රවී කරුණානායක මහතා වර්තමාන ක්‍රිඩා ඇමති වරයාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ගැන ප්‍රශ්නයක් යොමු කළේය. ඊට ක්‍රිඩා ඇමති වරයාගේ පිළිතුර වූයේ සිරිකොත ප්‍රශ්න විසඳා ගෙන එවැනි ප්‍රශ්න අසන ලෙසයි. එනිසා අද ආණ්ඩු පක්ෂයෙන් වගකීමෙන් යුතු පිළිතුරක් ලබා ගැනීම පවා දුෂ්කරය. මේ සියල්ලෙන්ම සිදු වන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතා විශ්වාසය ද බිදී යන තත්වයක් දක්වා තල්ලු වීම පමණි. එනිසා වර්තමාන තත්වය අනුව ආණ්ඩු මාරු කිරීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටළුවට පිළිතුරු ලබාගත නොහැක. එනිසා එම මිත්‍යාව අප දැන් අත්හල යුතුය.

දෙවනුව විධායක ජනාධිපතිවරයාට හෝ ජනාධිපතිවරියට රට ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ගෙන ආ හැකිය යන මිත්‍යාවෙන් අප මිදිය යුතුය. 1978 සිට මේ දක්වා විධායක ජනාධිපති ධූරය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා මානව අයිතීන් උදුරා ගත්තා මිස එයින් ජනතාවට යහපතක් වූයේ නැත. පාර්ලිමේන්තුවට වග නොකියන මෙම ධුරය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් පසෙක ලා අත්තනෝමතික තීන්දු ගැනීමේ කලාව රටට හදුන්වා දුන්නා යයි කීවොත් වරදක් නැත. පාර්ලිමේන්තුව පමණක් නොව රටේ නීතියේ ආධිපත්‍යට වඩා විධායක ජනාධිපති ඉහලින් සිටින්නෙකු ලෙස ක්‍රියාකරමින් සිටී. නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය හා පොලීසිය ඔහුගේ යටත්වැසියන් සේය. ඔහු(ජනාධිපති) දෙස බලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් චන්ඩින් බවට පත්විය. බලය ලබා ගැනීම සඳහා මෙම ධූරයට මුවාවී ඕනෑම කුපාඩිකමක් කිරීමට හැකියාව තිබෙන බව මේ වන විට ඔප්පුකර තිබේ. ඔහු මන්ත්‍රීවරුන්, මාධ්‍යවේදීන් තමන් ලගට කැදවා තර්ජනය කිරීම සුලබ කාරණයකි. විපක්ෂ දේශපාලනය දුර්වල කිරීම, පක්ෂ කඩා ඉහිරවීම මෙම ධුරයේ විනෝදාංශය වැනිය. අයවැයෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන් වෙන්නේ ඔහුගේ ව්‍යාපෘති වලටය. ඒ සඳහා ඕනෑම පොලී අනුපාතයකට ණය ලබා ගැනීම ඔහුට කිරි කජු වැනිය. මීට ඉහත දී මෙම ධූරය සඳහා ඉදිරිපත් විය හැක්කේ අවස්ථා දෙකකදී පමණි. නමුත් මෙම වර්තමාන ජනාධිපතිවරයා යුද්ධය අවසන් කිරීමේ ගෞරවයට මුවාවී 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එහි ඉහත කී සීමාව ඉවත් කලේය. දැන් ඔහු රජෙකි. මේ සියළු කාරණා හරහා මෙම ධූරය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයද අර්බූදයකට ලක්කර තිබේ.

විධායක ජනාධිපති ධූරය මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇතිකර තිබෙන බලපෑම අප රටේ සියළු ජනතාව හොදින් දනී. මෙකී සියළු කාරණා හොඳින් අත්විදි සිංහල ජනතාව පසුගිය මැතිවරණ වලදී තම බහුතර කැමැත්තෙන් ජනාධිපතිවරයාගේ ඉහත කී හැසිරීම් අනුමත කර තිබේ. මෙම ලිපිය ආරම්භයේදී සිංහල ජනතාව නින්දෙන් අවදිවිය යුතු යැයි මා කියන්නේ මේ නිසාය.

විධායක ජනාධිපති ධුරය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් ස්ථාපිත කිරීමට යහපත් බලපෑමක් කර නොමැති බවට තව තවත් කරුණු අපට අවශ්‍ය නැත. එය පාර්ලිමේන්තු ක්‍රමය බිඳ දමා ඇත. එනිසා අනාගතයේදී ශ්‍රී ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් අවකාශයක් අවශ්‍ය නම් අප විධායක ජනාධිපති ධූරය නැමති මිත්‍යාවෙන් මිදිය යුතුය. එම කටයුත්තේ විශාල වගකීමක් බහුතරය වන සිංහල ජනතාවට තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නිර්මාණය කිරීම සඳහා වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව පනත් ගෙන ඒම, පනත් සංශෝධනය හෝ කොමිසන් සභා පත් කිරීම ද මිත්‍යාවකි. 13 වන ව්‍යවස්ථා සංශෝධනය, 17 වන ව්‍යාවස්ථා සංශෝධනය, 18 වන ව්‍යවස්ථා සංශෝධන තුළින් මෙම කියන කාරණා කිසිවක් සිදුවූයේ නැත. එකී පනත් ගෙන ආ ක්‍රමවේදයම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට අනුකූල නොවූ නිසාම රට ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමන සාර්ථක වූයේ ද නැත. 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගත හොත් එහි ඇතැම් කාරණා තවමත් විවාදාත්මකය. උතුරු නැගෙනහිර පළාත් සභා සඳහා දෙමළ ජනතාව ඉඩම් හා පොලිස් බලතල ඉල්ලන විට ආණ්ඩුව එය මග හරිමින් සිටී. දෙමළ ජනතාව එකී බලතල ඉල්ලනනිසාම අනෙත් පළාත් සභා වලට ද එම බලය ලැබෙන්නේ නැත. මෙකී බලතල නොදී සිටීමට තවත් හේතුවක්
වන්නේ මධ්‍යම ආණ්ඩුව සතු බලතල හීන වේ යැයි පවතින මිත්‍යා බියයි.

17 වන ව්‍යවස්ථා සංශෝධන පනත රටේ බහුතර දෙනාගේ කැමැත්ත හිමිවූ පනතකි. නමුත් විධායක ජනාධිපති බලතල යොදා අදාල ආයතන වලට කොමසාරිස් වරු පත් නොකර සිටීමට වගබලා ගත්තේය. අවසානයේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් 17 වන ව්‍යවස්ථා සංශෝධන පනත අහෝසි කරණු ලැබූවේ මතුවූ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් කුණු කූඩයට තල්ලු කරමිණි. අනෙක් අතට මෙකී සියළු පනත් සමස්ථ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස නොව එම මොහොතේ තිබෙන ප්‍රශ්නයෙන් ගැලවීම සඳහා ගෙන එනු ලැබූ ඒවාය. එනිසා පනත් සංශෝධනය හෝ නව පනත් ගෙන ඒම අප රටේ සමස්ථ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයට පිළිතුරක් නොවන පැලැස්තර ඇලවීමේ උත්සාහයන් පමණක්ය.

කොමිසන් සභා පත් කිරීමද තවත් එවැනිම වූ මිත්‍යාවකි. එවැනි කොමිසන් සභා වලට අප රටේ ප්‍රජාතන්ත්‍රවාදි ගැටළු වලට පිළිතුරු සැපයිය නොහැක. කෝප් වාර්තාව ඉදිරිපත් කළ පාර්ලිමේන්තු කොමිසමට සිදු වූයේ කුමක්ද? කොමිසමේ ප්‍රධානියා අද විපක්ෂයේය. එකී වාර්තාවෙන් චෝදනා එල්ල වූ මන්ත්‍රීවරුන් අද ආණ්ඩුවේ ප්‍රධාන චරිතය. අද ප්‍රශ්නයක් වසා ගැනීමට අවශ්‍ය නම් ආණ්ඩුව කරන්නේ කොමිසමක් පත් කිරීමයි. ඊට මෑතකම උදාහරණය පසුගිය උසස්පෙළ ප්‍රතිඵල අර්බූදයත් සමග පත් කළ කොමිසන් සභාවයි. ඒවා පිළිබඳ දැන් ජනතා විශ්වාසයක් නොමැත.

උගත් පාඩම් කොමිසම තවත් එවැනිම වූ කොමිසමකි. වාර්තාවක් නිකුත් කිරීම හැරෙන්නට ඉන් එහාට යමක් කිරීමට එම කොමිසමට නොහැකිය. මෙකී කොමිසම තම සාක්ෂි කැදවීමේදී දෙපාර්ශවයේම (ආණ්ඩුවේ සහ එල්.ටී.ටී.ඊ) නිශ්චිතව නම් කළ හැකි පුද්ගලයන්ට චෝදනා එල්ල විය. ඇතැම් චෝදනා සනාථ කිරීම සඳහා ඕනෑතරම් කරුණු ඉදිරිපත් වන්නට ඇත. ඒ පුද්ගලයන් අධිකරණ ක්‍රියාවලියක ගෙන ඒමට හෝ එවැනි ක්‍රියාවලියක් නම් කිරීමට එකී කොමිසමට හැකිද?

එමෙන්ම 1971 හා 1987 -1989 කාලවල ඇතිවූ තරුණ කැරලි වලින් ගන්නට උගත් පාඩම් අපට නොතිබුණේද? ඒවා දමිළ ජාතිකයින් විසින් ඇති කළ අරගල නොවේ. ඒවා සිංහල සමාජය විසින් සිංහල ආණ්ඩු වල අධිපතිවාදයට එරෙහිව කෙරුණු අරගලයි. දකුණේ ඇති වූ එකී අරගල සඳහා උගත් පාඩම් කොමිසම් නොඑන්නටත් උතුරේ ඇතිවූ අරගලයට එවැනි කොමිසමක් එන්නටත් හේතුව කුමක්ද? උතුරේ ඇතිවූ අරගලයට ජාත්‍යන්තර අවධානයක් නොතිබෙන්නට එයටද කොමිසමක් නොලැබෙන්නට බොහෝ දුරට ඉඩ තිබුණි.

කෙසේ වුවත් වර්තමාන උගත් පාඩම් කොමිසම් වාර්තාවේ එකී ප්‍රශ්නයට දේශපාලන විසදුමක් අවශ්‍ය බව සඳහන් වී තිබීම සාධනීය වූ කාරණයකි. එම වාර්තාව පිළිබඳ සිංහල ජාතිවාදී ජාතික හෙළ උරුමය වැනි දේශපාලන පක්ෂ දැනටමත් අදහස් ඉදිරිපත් කර තිබේ. ඔවුන් ආණ්ඩුවේ කොටස්කාරයන් ලෙස හිදිමින් ම වාර්තාවේ සඳහන් ඇතැම් කාරණා පිළිබඳ සැක සංකා මතුකර ඇත. ආණ්ඩුව මෙම වාර්තාවේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කරන්නට යන්නේ නම් එයට විරුද්ධ වීමේ පෙරනිමිති ආණ්ඩු පාර්ශවයෙන්ම මතුව තිබේ. එනිසා මේ වාර්තාවේ උණුසුම නිවුනු පසු මෙම වාර්තාවද පැරණි වාර්තා ගොඩට එක්වීමේ ඉඩකඩක් පවතී. අනෙක් අතට මේ සියල්ල බල දේශපාලනය සමග ගැටගැසී ඇති නිසාම කොමිසන් සභා වලට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පවතින ගැටළු වලට පිළිතුරු සපයා දිය නොහැක.

මීට අමතරව යුද්ධයෙන් පසු එම ප්‍රදේශ හා අනෙකුත් ප්‍රදේශ සංවර්ධනය කිරීමෙන් අපගේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙනු ඇත යන්න දැන් නිතර ඇසෙන්නකි. ඒ සඳහා රජය විශාල සංවර්ධන ව්‍යාපෘති රාශියක් ආරම්භ කර ඇත. ප්‍රදේශ සංවර්ධනය කිරීම හොඳ දෙයකි. නමුත් මේ සියළු සංවර්ධන ව්‍යාපෘති මගින් අප වසර 50කට වැඩි කාලයක් මුහුණ දෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම් වැනි කාරණා වලට පිළිතුරු ලැබේද? උතුරේ ජනතාවගෙන් සිංහල ආණ්ඩු වෙත එල්ල වූයේ ඌණ සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයක්ද? නැත

ඔවුන් පුරා වසර 50 කට වැඩි කාලයක් ඉල්ලන්නේ ජාතියක් ලෙස දේශපාලන පිළිගැනීමකට ලක් කිරීමයි. සංවර්ධන ව්‍යාපෘති වලින් එම මූලික ගැටලුවට පිළිතුරු සෙවිය හැකිද?

අනෙක් අතට මෙම සංවර්ධන ව්‍යාපෘති වල වගවීමේ ක්‍රියාවලිය කෙබදුද? සංවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්නේද? ඒවාට වැය වන මුදල් කොපමණද? එම මුදල් ලැබෙන්නේ කෙසේද? වැනි කාරනා පිළිබඳ ජනතාවට කරුණු දැන ගැනීමට අවස්ථාවක් තිබේද? ජනතාවට එම කරුණු දැනගැනීමට අයිතියක් තිබෙන බව රජය විශ්වාස කරන්නේ ද? යනාදි වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පිළිබඳ ගැටළු විශාල වශයෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති තුළ පවතී. අනෙක් අතට දැනට ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රතිලාභ හිමිවන්නේ බහුතර සාමාන්‍ය ජනයාට නොව පාලක පන්තිය ඇතුලු පොහොසතුන්ටය. එමෙන්ම මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති සමඟ මිලියන ගණන් කොමිසන් ගසාගන්නේ ද පාලක පන්තිය සහ ඔවුන්ගේ හෙංචයියන්ය.

ඉහතින් සඳහන් කළ ආකාරයට ආණ්ඩු මාරුකිරීමකින් හෝ ජනාධිපති පුටුව මාරුකිරීමකින් හෝ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමකින් හෝ නව පනත් ගෙන ඒමකින් හෝ තිබෙන පනත් සංශෝධනය කිරීමකින් හෝ කොමිසන් සභා පත් කිරීමකින් හෝ විශාල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමකින් හෝ වර්තමානයේ රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමේ ගැටළු වලට පිළිතුරු සොයාගත නොහැක. අප තවදුරටත් ඒවා විශ්වාස කරන්නේ නම් මිත්‍යාවකි. එම මිත්‍යාවෙන් මිදෙන තාක්කල් අපගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය අපට නොලැබෙනු ඇත. එසේ නම් එකී මිත්‍යාවන්ගෙන් අප මිදෙන්නේ කෙසේද? ඒ පිළිබඳ න්‍යායාත්මකව කරුණු පැහැදිලි කරන්නේ නම්,

ඉහතින් සඳහන් කළ ආයතන හා ඒවායේ පරිපාලන පද්ධති සියල්ල තුලම ගැබ්ව ඇත්තේ අවිශ්වාසය, සැකය, ප්‍රචණ්ඩත්වය වැනි කාරණාය. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුව අද ප්‍රචණ්ඩය, එහි බහුතරයක් චන්ඩින්ය, නීතිය හා අධිකරණය පිළිබඳ ජනතාවට ඇත්තේ බියකි. එනිසා මේවායෙන් සාධාරණය ඉෂ්ඨ වේ යැයි විශ්වාසයක් ඔවුන්ට නැත. ප්‍රචණ්ඩ හැසිරීම දැන් සමාජ සංස්කෘතියකි. ප්‍රචණ්ඩත්වය පැති දෙකකින් සමාජ ගතවේ. ඉන් පළමු වැන්න සමාජ ව්‍යුහයන් සියල්ල කඩා වැටීමයි . අද දේශපාලන ව්‍යුහය දෙසබැලුවහොත් සියල්ල කඩා වැටී අවසන්ය. සරලවම පිළිගැනීමකට ලක්වූ දේශපාලන නායකයෙක් අපට දැන් සොයාගත හැකිද? ආර්ථික ව්‍යුහය ද එසේමය. අප ණය බරින් පිරුණු රටකි. එදා තේ,රබර්, පොල් මෙන් නිශ්පාදන ආර්ථිකයක් අපට නැත. රජයේ ආදායමට වඩා වියදම ඉහලය. සමාජ ව්‍යුහය ගත්තද ජාතීන් ලෙස, දේශපාලන පංති ලෙස, ඇති හැකි සහ නැති බැරි ලෙස ඇති බෙදීම් විශාලය. ආගමික ව්‍යුහය ගත්තද එසේමය. අද පවතින සංඝ සමාජයට මැදුම් පිළිවෙත අනුගමනය කිරීමට නොහැකිය. 1956 සිට මේ දක්වා ජාතික ගැටළුවේදී සංඝ සමාජයේ බොහෝ අය සිටියේ ජාතිවාදී අන්තයකය. ඔවුන් මැදුම් පිළිවෙතට වඩා යුද්ධය සුදුසු යැයි කියන තත්වයකට පත්විය. අධ්‍යාපන ව්‍යුහයද එසේමය. නීති ව්‍යුහය ගත්විට කියන්නට තිබෙන්නේ ඉහත කී කරුණුමය. පොලීසියට, නීතිය හා සාමය රැකීමට නොහැක. පොලීසිය අද දූෂණ වලින් බහුල තැනකි. අධිකරණ පද්ධතියට දේශපාලන බලපෑම් එමටය. එනිසාම එහි ස්වාධින බව ගිලිහී තිබේ, යනාදී වශයෙන් ඔබට අවශ්‍ය සමාජයේ ඕනෑම ව්‍යු හයක් ගෙන ගැඹුරට විග්‍රහ කර බැලුවහොත් ඒවායේ බිදවැටීම් හදුනාගත හැකිය. මේ ආකාරයෙන් සමාජයක එය පවත්වාගෙන යන පද්ධති සහ ව්‍යුහයන් කඩා වැටුනු පසු ඒවාට සමාජයට අළුත් යමක් එක් කළ නොහැක. ඒවායේ පිටවෙන්නේ සැකය, අවිශ්වාසය, ආධාරණය, ප්‍රචණ්ඩත්වය වැනි දේ පමණය.

සමාජයක ප්‍රචණ්ඩත්වය සංස්කෘතියක් වූ පසු දෙවනුව එහි බලපෑම ඇති කරන්නේ සංස්කෘතික ව්‍යුහයටයි. දැන් අපේ සංස්කෘතිය දෙස බලන්න. එහි සෑම තැනකම ඇත්තේ ප්‍රචණ්ඩ ස්වභාවයන්ය. එය රටේ නායකයාගේ සිට කුඩා ළමයා දක්වා සමාජ ගතවී අවසානය. එදා අපට පැවතියා යැයි කියන සමාජ හර පද්ධතියට අද ඇත්තේ නාමමාත්‍ර වටිනාකමක් පමණි. මීනී මැරීම අද සංස්කෘතියකි. අනෙකාට ඇහුම්කම් දීම අද නැති තරම්ය. පල්ලියට හෝ පන්සලට හෝ කෝවිලට යන්නේ පුරුද්දට හා මෝස්තරයටය. නැතිව ඒවාට ඇති භක්තිය නිසා නොවේ. මේ ආකාරයෙන් සමාජයේ සංස්කෘතික පද්ධතිය බිද වැටීම ගැනද ඕනෑ තරම් උදාහරණ දිය හැකිය.

සමාජයේ එක් අතකින් ප්‍රචණ්ඩත්වය, අනෙක් පැත්තෙන් සමාජ වු්‍යහයන් බිදවැටීම හා ඒවා ප්‍රචණ්ඩ ව්‍යුහයන් ලෙස ක්‍රියා කිරීම, තවත් පැත්තකින් සමාජයේ සංස්කෘතික හර පද්ධතිය බිද වැටීම සිදු වූ පසු ඒවාට සමාජය නැවත නගා සිටුවීමට නොහැක.

එනිසා එක් ආණ්ඩුවක් වෙනුවට තවත් ආණ්ඩුවක් ගෙන ඒමෙන් හෝ මේ ජනාධිපති වෙනුවට තවත් ජනාධිපති කෙනෙක් ගෙන ඒමෙන් හෝ මේ පොලිස්පති වෙනුවට වෙනත් පොලිස්පති කෙනෙක් ගෙන ඒමෙන් හෝ තවත් කොමිසම් පත් කිරීමෙන් හෝ නව පනත් ගෙන ඒමෙන් හෝ වැඩක් වන්නේ නැත.

ඒ වෙනුවට අප කළ යුත්තේ සමස්ථයම වෙනසකට ලක්කිරීමයි. එසේ නොකර වෙන ප්‍රතිසංස්කරණ මොනවා කළත් ඵලක් වන්නේ නැත. සමස්ථය වෙනස් කිරීම අපහසු කටයුත්තක් ලෙස කෙනෙකුට සිතෙන්නට පුළුවන. නමුත් සමස්ථය වෙනස් කිරීම අපහසු නැත. අවශ්‍ය වන්නේ ඒ සඳහා උවමනාවක් හා පූර්ව සූදානමක් ඇති කර ගැනීම පමණි.

සමස්ථය යනු කුමක්ද? සමස්ථය යනු ඉහත කී සමස්ථ ව්‍යුහයන්ට බලපාන්නා වූ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත ලිවීමයි. එය තිබෙන ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීමක් නොවිය යුතුය. එය කාගෙත් විශ්වාසය දිනා ගත්තා වූ නව ව්‍යවස්ථාවක් විය යුතුය. ඊට රටේ බහුතරයේත් සියළු සුළුතර ජන වර්ගයන්ගේත්, සුළුතර දේශපාලන පක්ෂ වල අභිලාෂයන් නියෝජනය වන්නක් විය යුතුය. එය රට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ හැකි ආකාරයෙන් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ශක්තිමත් විය යුතුය. බලතල එක තැනකට කේන්ද්‍ර වූවක් වෙනුවට බලතල බෙදා හදා ගන්නා ආකාරයේ නම්‍ය ව්‍යවස්ථාවක් විය යුතුය.

මෙය වියදම් අධික වෙහෙස කර ක්‍රියාවලියකි. සියළුම දේශපාලන වෙනස්කම් විදදරා ගැනීමට සිදුවන ක්‍රියාවලියකි. විශාල වරායවල්, ගුවන් තොටුපල වල්, අධිවේගී මාර්ග, උසම බුදුපිළිම ගොඩනගන සංවර්ධන ව්‍යාපෘති වලට වඩා මෙම හරයාත්මක ව්‍යාපෘතිය අද ශ්‍රි ලංකා සමාජයේ ප්‍රමුඛ කටයුත්ත විය යුතුය. සිංහල ජනතාව ඊට ප්‍රමුඛත්වය ගන්නේ නම් අනෙක් සමාජ කොටස් නිතැතින්ම ඊට එකතු වනු ඇත.

නව ව්‍යවස්ථාවක් ගොඩ නගන අතර වාරයේ ඊට අදාල නව පද්ධති සකස් කිරීමද අත්‍යාවශ්‍ය කාරණයකි. උදාහරණ වශයෙන් නීතියේ ආධිපත්‍ය රැකෙන ආකාරයේ නව නීති පද්ධතියක්, දූෂණය නාස්තිය වෙනුවට වගවීම හා කාර්‍යක්ෂමතාවයෙන් යුතු නව පරිපාලන ව්‍යුහයන් වැනි නව පද්ධතීන් ගොඩනැගිය යුතුය. මේවා කිරීම එතරම් අපහසු නැත. මේ පිළිබඳ විද්වතුන් අප රටේත් ඉන් බැහැරවත් ඕනෑ තරම් ඇත. අවශ්‍ය වන්නේ ඔවුන් එක්කර ගැනීමත් එවැනි ක්‍රියාවලියකට ඔවුන්ට පූර්ණ සහය දැක්වීමත් පමණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු සමස්ථ ව්‍යුහයන් අළුතෙන් ගොඩනැගීමට සමගාමීව නව ශ්‍රී ලාංකිකයා ගොඩනැගීමේ ව්‍යාපෘතියද ආරම්භ කළ යුතුයි. රටේ ජීවත්වන සෑම ජනවර්ගයකටම පොදු වූත් වෙන වෙනම වූත් අනන්‍යතාවයන් ආරක්ෂාවන ආකාරයේ නව ශ්‍රී ලාංකිකයා ගොඩනැගීමද කළ යුතුය. එල්බගත් මිත්‍යාවන්ගෙන් ගැලවී නව ආකල්පයන් සහිත ශ්‍රී ලාංකිකයා ගොඩනැගීමද එතරම් පහසු කටයුත්තක් නොවේ.

මේ සියළු කටයුත්තේදී කටුක බාධා වලට අපට මුහුණ දීමට සිදුවනු ඇත. කැප කිරීම් සිදුකල යුතුව ඇත. ආණ්ඩුවේ ඇතැම් පිරිස්, සංඝ සමාජයේ ඇතැම් පිරිස්, අන්ත සිංහල ජාතික වාදීන් මුල් වටයේදී මීට එරෙහි වනු ඇත. නමුත් ඔවුන්ද දිනා ගැනීම අපට අවශ්‍යය. ඔවුන්ගේ බාධා කිරීම් මධ්‍යයේද අපට ඉදිරියට යාමට සිදුවනු ඇත. මන්ද යත් ශ්‍රී ලාංකික සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමට තව දශකයක් බලා සිටීමට අපට නොහැකිය. අනෙක් අතට මෙකී කාර්යයට ඉතා සුදුසුම අවස්ථාව සහ කාලය පැමිණ තිබේි. වසර 30 ගණනක යුද්ධය අවසන් වී ඇති මොහොතේ ඉන් යහපත් ඵල නෙලා ගැනීමට සිංහල සමාජය උත්සුක විය යුතුය.

සේනක වත්තේගෙදර[Senaka Wattegedara]
[email protected]