කලක් ලංකාවේ වාසය කළ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයෙක් වන සරවනන් නඩරාසාට පසුගිය පෙබරවාරි 20 වෙනිදා නෝර්වේ රාජ්‍යයේ පුරවැසිභාවය හිමිවන තුරුම කිසිදු රටක පුරවැසියෙකු නොවූ බවයි ඔහු කියා සිටියේ.
“ඇත්තටම මේක මට හරි ලොකු දෙයක්. මගේ ජීවිතේ කාලයෙදිම පළවෙනි වතාවට මට පුරවැසිභාවයක් තියෙනවා කියලා දැන් දැනෙන එක ලොකු දෙයක්. වෙන රටකින් මට පුරවැසිභාවයක් දෙනවා කියන එක, එක් පැත්තකින් හරි කණගාටුදායකයි. නමුත් අනික් පැත්තෙන් හරි සතුටුදායකයි.”
තම සමීප ඥාතීන් ඇතුළු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමි විශාල පිරිසක් තවමත් වතුකරයේ වාසය කරන බව පවසන නඩරාසා තමන්ට නෝර්වේ පුරවැසිභාවය ලැබුණු පුවත මුලින්ම අම්මාට දැනුම් දුන් වේලේ ඇය මහත් ප්‍රීතියට පත් වූ බවද ප්‍රකාශ කරනවා.
මම අම්මලාට කතා කරලා මේක දැනුම් දුන්නා. අම්මලාට හරි සන්තෝෂයි. පළවෙනි වතාවට අපිට ඒවගේ දෙයක් ලැබුණ කියන එක ඒ අයට හරි සතුටක්.
නමුත් අම්මටයි, තාත්ටයි, සහෝදර සහෝදරියන්ටයි අද වෙනකම්ම ලංකාවේ පුරවැසිභාවය නැහැ?
නැහැ
නමුත් ඔවුන්ට අවශ්‍ය නම් ගමන් බලපත්‍රයක් ලබාගන්න, රැකියාවක් කිරීමේ අයිතිය තියෙනවා?
ඔව්
ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමි කිරීමේ කටයුත්තට නිදහසින් පසු බිහි වූ ඩී.ඇස්. සේනානායක ආණ්ඩුවේ ප්‍රමුඛත්වය හිමි වී තිබුණා. විශේෂයෙන්ම ජී.ජී.පොන්නම්බලම් වැනි උතුරේ දෙමළ නායකයන්ද වතුකරයේ දෙමළ ජනතාවට පුරවැසිභාවය අහිමි කිරීමේ කටයුත්තට සහය දීමත් එහිදී කැපී පෙනුනා. මේ තත්ත්වය විග්‍රහ කරන ප්‍රවීණ ලේඛක සහ දේශපාලන විශ්ලේෂක ගාමිණී වියන්ගොඩ,
“ඒ දවස්වල උතුරේ ක්‍රියාත්මක වෙච්ච ප්‍රධාන දෙමළ ව්‍යාපාරයේ නායකයින් පවා මේකට සහයෝගය දැක්වුවා. ඒක නිසාම ඒ දෙමළ ව්‍යාපාරයේ බෙදීම් පවා ඇති වුණා. ඒක නිසා ඇත්තටම ඉන්දීය සම්භවය සහිත දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා ඒ තරම් කලක් ගත වීමට සිංහල පාලකයින් වගේම ඒ තරමට නොවුනත් යම්තාක් දුරකට දෙමළ දේශපාඥයනුත් වගකිව යුතුයි.”
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්,
“ඇත්තවශයෙන්ම නිල වශයෙන් පුරවැසිභාවය නැති ඉන්දීය සම්භවයක් ඇති ජනතාව ලංකාවේ නැහැ. නමුත් තවමත් ඉන්දීය සම්භවයක් තියෙන දෙමළ බස කතාකරන ලංකාවේ ඉන්න දෙමළ ජනතාවට සම්පූර්ණ වශයෙන්ම පුරවැසිභාවය ලැබිලා නැහැ කියලා තමයි ඉතා වගකීමෙන් මම කියන්නෙ. පුරවැසිභාවය කොතනින්ද පටන්ගන්නෙ? ඒ අයගෙ ඡන්ද අයිතියෙන් පටන් ගන්නෙ. ඡන්ද අයිතිය බලන කොට තවමත් බස්නාහිර පළාතේ, මධ්‍යම පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයක් ඉන්න ඉන්දීය සම්භවයක් තියෙන දෙමළ ජනතාවට ඡන්ද අයිතිය නැහැ. කාරණාව තමයි ඒ අයට ජාතික හැඳුනුම්පත නැහැ. හැඳුනුම්පත නැති නිසා ඒ අයගෙ ඡන්දය ලියාපදිංචි කරන්න බැරි තත්ත්වයක් මේ රටේ උදාවෙලා තියෙනවා.”
1948 දී පුරවැසිභාවය අහිමිකෙරුණු වතුකරයේ ජනතාවට, පසුකලෙක පුරවැසිභාවය ලැබුණ අන්දම ගාමිණී වියන්ගොඩ මෙලෙස විස්තර කළා.
“පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීම සඳහා වතුකරයේ ජනතාව නියෝජනය කරපු දේශපාලන පක්ෂත් සමග යම් යම් අවබෝධතා ගිවිසුම් වලට ඇතුළත් වෙන්නට බලයට පත්වෙච්ච සෑම ආණ්ඩුවකටම අවශ්‍ය වුණා. ඒක නිසා යම් කිසි විදිහකට ආණ්ඩුවට බලපෑමක් කරන්නට ඒ අයට පුළුවන් කම ලැබුණා. ඒකෙ ප්‍රතිඵල විදිහට අවසානයේදී 1980 දශකය වන විට අහිමිකරන ලද පුරවැසිභාවයේ ගැටළුව, ඉන් පසු පරම්පරාවන්වලට විසඳුනා කියලයි මම විශ්වාස කරන්නෙ.”
තමන්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොතිබුණේ නම්, විදේශ ගමන් බල පත්‍රයක් ලබාගත්තේ කෙසේ ද?
මේ සර්වනන් නඩරාසා
“ශ්‍රී ලංකාවේ මට ග්‍රාම සේවා සහතිකයක් ගන්න පුළුවන්, හැඳුනුම්පතක් තියෙනවා, තාත්තට පාස්පෝට් එකක් තියෙනවා, ඉතින් පොඩි කාලෙ ඉඳලා තාත්තා අමාරුවෙන් හරි අපි ඉන්දීය සම්භවයක් නැහැ කියන එක සහ ශ්‍රී ලාංකිකයො කියන එක ගැන නීත්‍යාණුකූල තත්ත්වයන් ඇතිකරගෙන තිබුණා. ඒ දේවල් මට පාස්පෝට් එකක් ගන්න ඇති වුණා.”
ඔබට ලංකාවේ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට පුළුවන් වුණා, ඔබට ලංකාවේ රැකියාවක් කරන්න හැකියාව තිබුණා. ඉතින් පුරවැසිභාවය ලැබීම නොලැබීම කියන එක ඒ තරම්ම ප්‍රශ්නයක් වෙන්නෙ ඇයි?
“ලංකවේ දැන් එච්චර තදබල දෙයක් මේ සම්බන්ධයෙන් නැහැ. නමුත් අපේ සමාජය අතරේ මේ හරහා ලොකු බියක් නිර්මාණය වෙලා තිබුණා. මේ අයට ආණ්ඩුවෙන් කිසිදු දෙයක් කරගන්න බැරි වෙයි,කවදාහරි යවයි, ඒ වගේ බියක් දිගටම තිබුණා. පසුගිය කාලෙ එහෙමනෙ වුණේ. කල්ලතෝනි විදිහට, වෙන භාෂාවක් කතා කරන මිනිසුන් විදිහට තමයි මේක දිහා බලන්න ඕනෙ.”
ගාමිණී වියන්ගොඩ නැවතත් අදහස් දක්වමින්,
“පුරවැසිභාවය ඇතුළෙ යම් යම් අයිතිවාසිකම් සමුදායක් තියෙනවා. ඒ අයිතිවාසිකම් හැම කෙනාටම එක විදිහට ලැබෙන්නෙ නැහැ. සාක්ෂරතාවය අඩුම ජන කොට්ඨාශය විදිහට සැලකෙන්නෙ ඔය පළාතේ දෙමළ ජනතාව. ඒ වගේම ඒ අයගේ ජීවන තත්ත්වය විදිහට ගත්තත් ලංකාවේ අඩුම ජීවන තත්ත්වය, අඩුම සෞඛ්‍ය තත්ත්වය, අඩුම අධ්‍යාපන පහසුකම් තියෙන ජනතාව විදිහට සැලකෙන්නෙ ඔය වතුකරයේ ඉන්න ඉන්දීය සම්භවය සහිත දෙමළ ජනතාව. ඒ අයට රාජ්‍යයක් නැහැ වගේ තමයි. ඒ අයගේ මූලික අයිතිවාසිකම් පැත්තෙන් ගත්තම ඒ අයව බලන්න රාජ්‍යයක් නැහැ හිතෙනවා. එහෙම නැතුව නීතිමය අර්ථයෙන් නම් පුරවැසිභාවය නැහැ කියන එක ගැන, නඩරාසාගෙ කතාවෙ පදනමක් තියෙනවා කියලා මම හිතන්නෙ නැහැ.නමුත් ඔවුන්ගෙ අයිතිවාසිකම් සහ ඔවුන්ට රාජ්‍ය විසින් සපයා දෙන පහසුකම් සම්බන්ධයෙන් බැලුවහම, හැම අතකින්ම ඒ මිනිසුන් දෙවෙනි පුරවැසියො නෙමෙයි තුන්වෙනි පුරවැසියො වශයෙන් තමයි අපිට පෙනෙන්නට තිබෙන්නෙ.”
බී.බී.සී සංදේශය ඇසුරෙනි