සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Peace and reconciliation

වදකාර අතීත මතකයන් බුල්ඩෝසර් කරමු!


අහිංසකයන්ගේ ආරාමය පොළොවට සමතලා කැරුණේ බුල්ඩෝසර් හඬ පමණක් වාතලයට මුසුකරමිනි. එතැන් පටන් ගතවූ මාසය පුරාවටම ඒගැන නැඟුණු බලවත් හඬක් අසන්නට නොලැබිණි. තැනක දෙකක ඇතිවන්නට ගිය කතිකාවන්ද, බුල්ඩෝසර් හඬ වාතලයේ වියැකී ගියාක් සේම වියැකී ගොසිනි.

එක් අතකට රටතුළ දිනපතා සිදුවන ගත හිවුඩු නංවන සිදුවීම් දාමයේ හැම කේවල සිද්ධියක් ගැනම ප්‍රමාණවත් පරිදි හඬනඟන්නේ කෙසේද යන්න, ඒගැන හඬනඟන්නට ඉතිරිවී සිටින අතලොස්සක් නිදානොගත් මිනිසුන්ට ගැටලුවක් වී ඇතිබව පෙනේ. සිදුවීම් සිදුවෙමින් පවතින්නේ එතරම් වේගයකිනි. අනෙක් අතට සිය වරදකාරී හෘදය සාක්ෂියට වදදෙන බැවින්ම අමතක කර දමන්නට වඩා කැමැති යටගියාවක මතකයන්, මේ අයුරින් හෝ සමතලාවී යාම බහුතරයක් වෙතින් සැනසුම් සුසුමන් පිටවීමට හේතුවී ඇත. තමන් වෙනුවෙන් ඉදිවූ ස්මාරකය සමතලා වීමේ වේදනාව වෙනුවෙන් හඬනඟන්නට, මෙයින් වසර විසි ගණනකට පෙර නන්නාඳුනන ඝාතකයන් අතින් අනීතිකව අහිමි කරන ලද පණනල වාතලයට මුසුකළ අහිංසකයන්ටද හැකියාවක් නැති බැවින්, අහිංසකයන්ගේ ආරාමය සිහින් කෙඳිරියකින් හෝ තොරව බිම්බත්කැරී තිබේ.

එහෙත් මේ පිළිබඳ අත්හැර දැමුණු කතිකාව ගැන, මාසයකට පසු හෝ සටහන්කළ යුතුම වැදගත් කාරණාවක් දෙකක් ඇතැයි විශ්වාස කරමින් මෙය ලියමි. විශේෂයෙන්ම මෙම ස්මාරකය මෙසේ මකා දමන්නට අවශ්‍යවන්නේ හා ඒගැන ප්‍රමාණවත් විරෝධතාවක් නොව අවධානයක්වත් යොමු නොවන්නේ ඇයිද යන්න අවධානයට ලකවීම වැදගත් වේ.
කවුරුත් දන්නා හඳුනන ‛නාඳුනන ඝාතකයන්’ අතින් 88-89 භීෂණ සමයේ ඝාතනයට ලක් වූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිසුන් පිරිසක් සිහිකරමින් 1999 දී ඉදිවී, පුරා වසර 12ක් ආයු වළඳා බිම්බත්වූ අහිංසකයන්ගේ ආරාමය, එම භීෂණ සමයේ ගෞරවණීය මරණයක් අහිමි කරන ලද හැටපන්දහසකට අධික දකුණු ලක පුරවැසියන් පිළිබඳ සංඛේතයක් විය. ’94 ආණ්ඩු පෙරළියට ද මේ ඝාතනය වූවෝ නන්නාඳුනනා මිනීවලවල්වල සිට උරදුන්හ. අදටත් බලයේ සිටින්නේ ඒ අහිංසකයන් මතින් බලයට පැමිණ, මේ ස්මාරකය ගොඩනැඟූ ආණ්ඩුවමය. එදා මේ තරුණ ජීවිතවලට අත්වූ ඉරණම ජාත්‍යන්තරයට කියන්නට පෙරමුණ ගනිමින්, පැවැති ආණ්ඩුවේ දහසක් බාධාකිරීම් හමුවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිය මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපතිවරයාය. එහෙත් තමන්ට බලයට එන්නට නිහඬ මිනීවලවල්වල සිට පාරකැපූ අහිංසකයන් වෙනුවෙන් ඉදිවූ ස්මාරකය, ඒ ආණ්ඩුවේම, ඒ දේශපාලකයාගේම පාලනය තුළ සමතලා කැරිණි.

සිදුවීමක් වශයෙන් මෙය දැවැන්ත එකක් නොවෙතත්, සංඛේතමය වශයෙන් එය දැවැන්තය. තමන්ට බලයට ඒමට උදව් කළ මළවුන් වෙනුවෙන් ඉදිවූ ප්‍රධානතම ස්මාරකය වනසන්නට, ඒ මළවුන්ගේ අහිමි කරන ලද ජීවත්වීමේ අයිතිය ගැන ලොවට කියන්නට පෙරමුණගත් දේශපාලකයාටම අවශ්‍යවන්නේ ඇයි? රජයේ හමුදා අතින් ඝාතනය වූ තමන්ගේ දරුවන් සමරන්නට ඉදිවූ ස්මාරකය බිමට සමතලා කරනවිට, දරුවන් අහිමි වූ දකුණ ඒගැන වචනයක් නොකියන්නේ ඇයි? මෙතරම් වෙනසක් වසර දොළහක් තුළ සිදුවීමට තරම් අප සමාජය මත පතිතවූ විපරිවර්තනය කුමක්ද?

පිළිතුර සරලය. ඒ විපරිවර්තනය නම්, සිය අයිතිවාසිකම් ඉල්ලා සටන්කළ උතුරේ ජනයාගේ විමුක්ති අරගලය බුල්ඩෝසර් කරමින් ආණ්ඩුව හා දකුණ ලද යුද ජයග්‍රහණයයි.
88-89 දී ඝාතනය වූයේ ආණ්ඩු බලය ගන්නට හෙවත් රට අල්ලන්නට ගිය දකුණේ සිංහල තරුණයන්ය. 2005-2009 දී ඝාතනය වූයේ තමන්ගේ සාධාරණ අයිතිවාසිකම් නොදෙන්නේ නම් රටෙන් කෑල්ලක් හෝ අල්ලාගන්නට ගිය උතුරේ දෙමළ තරුණයන්ය. දකුණේ සිංහල තරුණයන් ඝාතනයට ලක්වූයේ ‛ආණ්ඩුවේ මිනීමරු හමුදා’ අතිනි. උතුරේ දෙමළ තරුණයන් ඝාතනය වූයේ ‛අපේ රණවිරුවන්’ අතිනි. අවාසනාවකට මේ ‛ආණ්ඩුවේ මිනීමරු හමුදාත්, අපේ රණවිරුවනුත්’ යන සංස්ථාවන් දෙක, එක මත එක අතිපිහිතවී තිබේ. එනම්, එදා අපේ කොල්ලන් මැරූ මිනීමරු හමුදාත්, මෙදා දෙමළ කොල්ලන් මැරූ රණවිරුවනුත් යන සංස්ථා දෙක දෙකක් නොව එකකි.

ඉදින් මේ දැවැන්ත විපරිනාමය තවදුරටත් ආණ්ඩුවක් හෝ ජනතාවක් හැටියට අප දරාගන්නේ කෙසේද? එය අපේ හෘදය සාක්ෂිය පාරවයි. අපේම ඥාති මිත්‍රාදී මලවුන්ගේ ආත්ම පැමිණ අපටම කරදර කරයි. කළ හැක්කේ එකම දෙයකි. එකිනෙකට එදිරිව අප හමුවේ නැඟීසිටින සංඛේතකරණයන්ගෙන් එකක් මකාදැමිය යුතුය. ‛රණවිරු’ සංඛේතය නම් මේ මොහොතේ කීයටවත්ම මකාදැමිය නොහැකිය. දහසක් ප්‍රශ්න මධ්‍යයේ අප අදටත් ජීවත් කරවන්නේ ඒ සංඛේත මතකයයි. මකාදැමීම සඳහා ඉතිරි වූයේ ‛ආණ්ඩුවේ මිනීමරු හමුදා’ නම් පැරණි සංඛේතය පමණි.

88-89 භීෂණ සමයේ දකුණේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් ලෝකයට කියන්නට ජිනීවා ගිය, අද උතුරේ සිදුවී ඇති මානව හිමිකම් උල්ලංඝනයවීම් ලෝකයට කියන්නට උත්සාහ කරන්නන් මත ‛රට පාවාදෙන දේශද්‍රෝහීන්’ යන ලේබලය අලවමින් දශක එකහමාරකට දෙකකට පෙර තමන් කළ දේශපාලනයම නොපිට පෙරලාගෙන ඒ මත සැතපී සිටින මහින්ද රාජපක්ෂට, ඒ අතීතය නිතර දෙවේලේ මතක් කරවන අහිංසකයන්ගේ ආරාමය වදයකි.

නගරය අවලක්ෂණ කරන්නේයයි කියමින් මේ ස්මාරකය ඩෝසර්කර දමන්නට අණදෙන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය. ඔහුද 88-89 භීෂණ සමයේ දකුණු ලක රාජකාරියේ නියුතුව සිටි හමුදා නිලධාරියෙකි. එනම් එදා නිර්වචනයට අනුව දකුණේ දරුවන් අමු අමුවේ ඝාතනය කළ මිනීමරු කුලීහමුදාවේ නියෝජිතයෙකි. අනෙක් අතට අද ‛රණවිරු’ වීර පදක්කම ලත් හමුදාව යොදා අයියාගේ පාලනය ශක්තිමත් කිරීමේ වගකීම දරන්නා ඔහුය. ඉතින් ඒ අතීතය ඔහුටද වදයකි.

අහිංසකයන්ගේ ආරාමය දකුණේ සිංහලයන්ට සංඛේතවත් කරමින් සිටියේ, රජයේ හමුදා විසින් නීතියක් යුක්තියක් නැතිව මරාදැමූ සිය දරුවන්ය. එහෙත් එතැනින් දශක එකහමාරක් ගියතැන ඇරැඹුණු උතුර තලාදැමීමේ අවසන් යුද්ධයේදී, දස දහස් ගණනින් දෙමළ වැසියන් මරාදැමූ හමුදාවන් රණවිරුවන් සේ බෝධිපූජාවලින් පිදූ ඔවුන්ටද, අර පැරැණි මතකය සිය හෘදය සාක්ෂියෙහි ඇනුණු පොල් උලකි. ඉදින් අද රණවිරුවන් වී සිටින හමුදාවේ ඒ මිනීමරු ඉතිහාසය පිළිබඳ මතකයේ අවසාන සිහිවටනද පොළොවට සමතලා කිරීම, මේ සිංහල සමාජයටත් කොතරම් සැනසීමක්ද? එදා ඇඹිලිපිටියේ ඝාතනයවූ අහිංසකයන්ගේ ලේ කඳුළු අලෙවි කළ ජාතියේ ආඩම්බරකාර පුවත්පතකින්ම, මෙදා ඒ අහිංසකයන්ගේ ස්මාරකය ‛ඌරු බෙට්ටක්’ බවට නාම කරණය කරන කිංබානට් පත්තර කලාවක් දක්නට ලැබීම, ඛේදයක් වුව විස්මයක් නොවේ.

අහිංසකයන්ගේ ආරාමය අද ජවිපෙවත් ගණන් ගන්නේ නැති බව, එහි නිර්මාතෘ ජගත් වීරසිංහ පවසා තිබිණි. එය නිකම්ම ගණන් නොගැනීමක් නොව, හිතාමතා කරන ගණන් නොගැනීමකි. අහිංසකයන්ගේ ආරාමය ජවිපෙට මතක්කර දෙන්නේ ඔවුන්ගේම එදා හැඳින්වීමට අනුව ‛මිනීමරු ආණ්ඩුවේ කුලී හමුදා’ විසින් භීෂණ සමයේ තමන්ගේම නායකයා ඇතුළු සාමාජික සාමාජිකාවන්ට අත්කර දුන් කුරිරු ඉරණමය. එහෙත් ඒ මිනීමරු කුලීහමුදාම, තමන්ගේ ශබ්ද කෝෂය තුළ රට රකිනා රණවිරුවන් බවට පෙරලාගන්නට ජවිපෙට ගතවූයේ දශකයකටත් අඩු කාලයකි. දෙමළාගේ විමුක්ති අරගලයට එරෙහිව අප්‍රමාණ වූ ප්‍රචණ්ඩත්වයක් මුදාහරිනු වස් රජයේ හමුදාවන් උත්කර්ෂයට නැංවීමේ කාර්යයේ ලා සිහල උරුමය සමඟ කරේ අතදාගෙන ඉහළම බරක් අදින ලද දේශපාලන සංවිධානය වූයේ ඔවුන්ය. එදා ඔවුන්ගේම සහෝදර සහෝදරියන් අමානුෂික ලෙස ඝාතනය කරන ලද්දේද, එයින් දශකයකට එකහමාරකට පසු ඊටත් වඩා අමානුෂික හා කුරිරු අයුරින් උතුරේ දෙමළ ජාතික අරගලයේ නිරත වූ, නොවූ දෙමළ ජනතාව ඝාතනය කරන ලද්දේද එකම හමුදාවකින් වුවත්, තමන්ගේ උන් ඝාතනය කරන විට මිනීමරු කුලී හමුදා වූ ඒ මිලිටරි යන්ත්‍රයම, උතුරේ ඒ කෲරත්වය ඊට වඩා වැඩි ගුණාකාරයකින් මුදාහරින විට ‛රට රකිනා රණවිරුවන්’ ලෙස නාමකරණය විය.

උතුරේ යුද අපරාධ පිළිබඳ චෝදනා එල්ලවන විට, ‛අපේ හමුදාව යුද අපරාධ කිසිත් නොකළ විනීත හමුදාවක්’ බව අද ජවිපෙ කියයි. දැන් මේ කතාව කියන්නේ දශක දෙකකට පෙර මේ කියන හමුදාවේම විනීතකම ස්වකීය අත්දැකීමෙන්, හැටදහසක් ජීවිතවලින් විඳගත් ව්‍යාපාරයකි. අහිංසකයන්ගේ ආරාමය තමන් නිතර යන එන පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ රැඳී හිඳිමින් ජවිපෙට මතක්කර දෙමින් සිටියේ මේ අප්‍රසන්න සත්‍යයයි. ඉදින් ඒ වැලලුණු හැටදහසක මතකය සමතලා කරන්නට අණදුන්නවුන්ගේ සිට, බුල්ඩෝසරය දැක්කූ කම්කරුවා දක්වා සියල්ලන්ට, එළිපිට නැතත් රහසින් හෝ ඔවුන් පින් නොදුන්නා නම් නොවේද පුදුමය?

ශිෂ්‍ය නායකයන්ට පරාල ඇණගැසූ බවට චෝදනා ලද දේශපාලකයෝ, විධිමත් නීතිමය ක්‍රියාදාමයක විනිශ්චයට මුහුණනොදීමේ වරය ලබා ආණ්ඩුවේ නිලතල අරා යෙහෙන් වැජඹෙති. වධකාගාර පවත්වාගෙන ගියබවට චෝදනා ලද දේශපාලන නායකයෝද එසේම නීතිය හමුවේ සිය වරද හෝ නිවරද ඔප්පු කිරීමේ ක්‍රියාදාමයකින් තොරව තවමත් දේශපාලනයේ නියැලෙති. එදා දකුණේ ඝාතන හා අතුරුදහන්කිරීම් ගැන රටට ලෝකයාට කරුණු කී සියල්ලෝද ආණ්ඩුවේ හෝ විපක්ෂයේ සිටිමින්, මේ චෝදනා ලද්දවුන් සමඟ කිසිත් නොවූ පරිද්දෙන් සිය කටයුතුවල නියැලී සිටිති. රාජපක්ෂට අමතරව ඔහුගේ සහායට ජිනීවා ගිය හිටපු වාමාංශික වාසුදේවද, අහිංසකයන්ගේ ආරාමය ඉදිකිරීමේ මූලිකයකු වූ මංගල සමරවීරද, තවත් බොහෝ අයද ඒ අතර වෙති. අහිංසකයන්ගේ ආරාමය සමතලා කිරීම මේ සියල්ලන්ට ද මහත්ම සැනසීමකි.

එදා ‛යදමින් බැඳ විළංගු ළා මගේ පුතා රැගෙන යන්’යි ගී ලියූ සුනිල් ආරියරත්න, මෙදා උතුරේ යුද අපරාධ ගැන චෝදනා හතර වටින් එල්ල වනවිට හා එදා තමන් ගී ලියූ පුතුන් උදෙසා ගොඩනැඟුණු ස්මාරකය සමතලාකරන විට, ඒ ගැන වගේ වගක් නැතිව කුසපබා හදාගෙන පෝලිම පන්නවා එය ප්‍රදර්ශනය කරමින් සිටී. ‛මගේ පුතා’ කීවේ සිංහල පුතාට මිස දෙමළ පුතාට නොවන නිසා, එය එසේ සිදුවූවා වන්නට බැරිනැත. එහෙත් සුනිල් ආරියරත්න යනු දෙමළ සාහිත්‍යය ගැන පර්යේෂණ කෘති රචනා කළ විද්වතකු ලෙස රට හඳුනාගෙන සිටීම ඛේදයක්ද නැතිනම් දෛවයේ සරදමක්දැ‛යි නොවැටහේ.

දැන් උදාවෙමින් ඇත්තේ සියල්ල යළිත් කණපිට හැරෙන යුගයක පෙරමඟ ලකුණුය. යථා ස්වභාවයෙන් තිබූ දෙයක් කණපිට හැරී, යළිත් කණපිට හැරෙනවා යන්නෙහි අරුත, එය එහි යථා ස්වභාවයට යළිත් පත්වීමය. පරණ මිලට භූමිතෙල් බෝතලයක් ඉල්ලූ හලාවත වැල්ලේ ධීවර තරුණයකුට ගිනිබිඳ ඇත්තේද, එදා උත්කර්ෂයට නංවා බෝධිපූජාවලින් සෙත් ශාන්ති කරන ලද රණවිරුවකු අතරැඳි තුවක්කු බටයකි. මීට පෙර රොෂේන් චානකගේ ජීවිතයට වගකීවේද ඒ රණවිරු අවියමය. සිය අණදෙන්නා වෙනුවෙන් තුවක්කුව නම් අජීවී වස්තුවට පණපොවන හමුදා සෙබලාට, උතුර දකුණ කියා හෝ සිංහල, දෙමළ, මුස්ලිම් කියා හෝ භේදයක් නැතිබවට හා ඇත්තේ අණ ලැබෙන්නේ කුමකටද යන්න පමණක් බවට වූ පාඩම අප අමතක කරමින් සිටින්නේ, නැවතත් ඒ පාඩම ම ඉගෙනීමේ අවස්ථාවට අප සම්මුඛ වෙමින් සිටින බියකරු හෝරාවේදීමය.

දශක දෙක හමාරකට පෙර ‛මිනීමරු ගහලයන්’ වී පසුව ‛රණවිරුවන්’ සේ උත්කර්ෂයට නැංවී සිටින රාජ්‍යයේ මර්දන යන්ත්‍රය වූ හමුදාව, හෙට දවසේ අප සමාජය ඉදිරියේ නාමකරණය වනු ඇත්තේ කෙසේද යන්න දැකබලාගැනීම කාලය පිළිබඳ ගැටලුවක් පමණක් වීමට ඉඩඇත. එදාට උතුරේ ඝාතනයට ලක්වූවන්ගේ සොහොන්කොත්ද බුල්ඩෝසර් කැරී, දකුණේ අහිංසකයන්ගේ ආරාමද පොළොවට සමතලාවී තිබීම හේතුවෙන්, කතාන්තරය අලුත් පිටුවකින් පටන් ගැනීමට පුළුවන.

අතීතය යනු අනාගතය පෙර දකින්නට උපයෝගී කරගත හැකි පාඩම් පොතක්ය යන්න අමතක කරන ජන කොට්ඨාසයකට සිදුවන්නේ, අනාගතය පෙර දකින්නට හා යළි පුණරුච්චාරණය වීමට ඉඩඇති ඉතිහාසයේ ඛේදයන් වලක්වා ගන්නට නොව, නැවත නැවතත් අත්දැකීමෙන්ම ඒවායේ බිහිසුණු බව විඳගන්නටය. එහෙත් ඒ සඳහා මිල ගෙවිය යුත්තේ රුපියල් හෝ ඩොලර්වලින් නොව, මනුස්ස ජීවිතවලිනි.

සනත් බාලසූරිය[Sanath Balasooriya]