මමත් මගේ කාර්යාලයේ මිතුරියකුත් පසුගිය සිකුරාදා (12) කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි අපගේ මිතුරියකගේ පියාගේ මලගෙදරට සහභාගී විමට ගියෙමි. මාත් සමග එහි ගිය මිතුරිය අපගේ මිතුරියගෙන් මල ගෙදර කටයුතු පිළිබඳව විමසුවාය. එහිදී ඔවුන් දෙදෙනා අතර ඇති වූ කතා බහේදී අපුරු කථාවක් හෙලි වුනි. පහත දැක්වෙන්නේ එම සංවාදයයි.
මොන කනත්තටද මිනිය ගෙනියන්නෙ? “මාදම්පිටියට”
අද සිකුරාදානේ ඕගොල්ලන්ට ඒක ප්‍රශ්ණයක් නෙමේද? ‛‛නැහැ, අපේ තාත්තා ක්‍රිස්තියානි ඒත් දැන් වලදාන්නේ බෞද්ධ කොටසේ.’’
ඒ ඇයි? ‛‛පල්ලියේ ෆාදර් කුරුසේ එව්වේ නැහැ. ඒ නිසා අපි බෞද්ධ කොටසේ අවසන් කටයුතු සිදුකරනවා. හැබැයි පාන්සකූලේ දෙන්නේ නැහැ.’’
ඇයි ෆාදර් කුරුසය එව්වේ නැත්තේ? ‛‛තාත්තා නියම ක්‍රිස්තියානි කාරයෙක් නෙමේ කියල.’’
ඇයි තාත්තා පල්ලි ගියේ නැද්ද? ‛‛මාස තුනකට කලින් තාත්තා ලෙඩ වෙලා එක්තැන් වුනා එතකන් එයා හැම අඟහරුවාදාම පල්ලි ගියා. එයා හොඳ ක්‍රිස්තියානි භක්තිකයෙක්.’’
එතකොට ඇයි ෆාදර් කියන්නේ එයා හොද ක්‍රිස්තියානි කාරයෙක් නෙමේ කියල? ‛‛එයාගේ දරුවන්ව පල්ලියට හුරුකරේ නැති නිසා කියලයි ෆාදර් කියන්නේ.’’
එතකොට එහෙම කෙනෙක්ව ක්‍රිස්තියානි කොටසේ වල දාන්න බැරිද? ෆාදර් කුරුසේ එව්වේ නැත්නම් පල්ලිය කොටසේ වලදාන්න බැහැ. එතකොට වලදාන්න වෙන්නේ ‛‛මස්තබාල්දු’’ කොටසෙ
මොකක්ද මස්තබාල්දු කොටස කියන්නේ? හොද ක්‍රිස්තියානි නොවන අය වලදාන තැනට. අපේ අම්මා බෞද්ධ ඒක නිසා මමයි නංගියි බෞද්ධ විදිහටයි හැදුනේ. මගේ මල්ලිලා දෙන්නා හැදුනේ ක්‍රිස්තියානි විදිහට. ඒ දෙන්නා පල්ලි යනව. අපි වගේ මිශ්‍ර පවුල් වල අය මැරුනම ඉඩ දෙන්න තමයි මස්තබාල්දුව තියෙන්නේ. අපි වගේ මිශ්‍ර අයට පල්ලිය සලකන්නේ වෙනස් විදිහට. ඒ අපි හොඳ ක්‍රිස්තියානිකාරයන් නෙමේ කියල.