[ඡායාරෑපයේ බිහිසුනු බව නිසා එය සංස්කරනය කර ඇත]
යුද්ධය ජය ගැනීම සඳහා අනුගමනය කළ පිළිවෙත පිළිබඳව ලංකා ආණ්ඩුව දැන් කාලයක සිට දෝෂ දර්ශනයට ලක්වෙමින් තිබේ. ක‍්‍රීඩාවක දී සෑම ක‍්‍රීඩකයෙකුම අදාළ නියමයන්ට අනුගත විය යුත්තේ යම් සේ ද, යුද්ධයක දී ද අනුගමනය කිරීමට හැම පාර්ශ්වයක්ම බැඳී සිටින ප‍්‍රතිපදා බොහෝ ය. යුද්ධයට සම්බන්ධයක් නැති සිවිල් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම, සිවිල් ජනතාවට අවශ්‍ය ආහාර පානාදිය අඛණ්ඩව සැපයීම සහ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැලසීම පමණක් නොව, එම සේවාවන් අඩාල වන පරිද්දෙන් යුද ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමෙන් වැළැකී සිටීම ආදී බොහෝ මානුෂීය කරුණු ඊට අදාළ ය.
යුද්ධයෙන් පසු අපේ ආණ්ඩුව දැරූ මතය වුණේ, එක සිවිල් ජීවිතයක්වත් මේ යුද්ධය තුළ දී විනාශ නොවුණු බව යි. එය එක්තරා විදිහක ‘ධර්ම යුද්ධයක්’ වශයෙන් විස්තර කෙරුණි. ඉන් පසු ක‍්‍රමයෙන් එම ස්ථාවරය වෙනස් කොට, ‘ ඕනෑම යුද්ධයක දී සිදුවිය හැකි විලසින්’ මේ යුද්ධයේ දී ද ඇතැම් සිවිල් ජීවිත විනාශ වන්නට ඇතැ යි පිළිගත් ආණ්ඩුව ඒවා ගණනය කිරීමට පවා පෙළඹුනි. එම ගණන් හිලව්, සිය ගණනේ සිට දහස් ගණන දක්වා වර්ධනය වුණි. එහෙත්, මානව හිමිකම් සංවිධාන සහ ඇතැම් විදේශ රාජ්‍යයන් පවසන පරිදි එම ප‍්‍රමාණය දස දහස් ගණනක් වෙතැයි ආණ්ඩුව පිළිගන්නේ නැත. කෙසේ වෙතත්, ආණ්ඩුව පත්කළ ‘ජාතීන් අතර සංහිඳියා’ කොමිසම, තව දුරටත් විභාග කළ යුතු ඇතැම් අපරාධ මේ යුද්ධය හෝ ඊට අදාළ පරිසරය තුළදී සිදු වී ඇත් දැ යි වැඩි දුරටක් පරීක්ෂා කර බැලීමට නිර්දේශ කෙළේය.
මෙයින් පෙනී යන්නේ, පොදුවේ ගත් කල, යුධ ජයග‍්‍රහණය සඳහා අනුගමනය කළ ‘ක‍්‍රමවේදය’ ගැටළුකාරී වී ඇති බව යි. යුද්ධයේ අවසාන අදියරේ දී වන්නියේ කොටු වී සිටි සිවිල් ජනගහනය පිළිබඳ ආණ්ඩුවේ අවතක්සේරුවම, ආණ්ඩුව අනුගමනය කිරීමට බලාපොරොත්තුව සිටි අවසාන ප‍්‍රහාරය කල්තියා යුක්ති සහගත කර ගැනීම වෙනුවෙන් කළ අවරගණනයක් දැ යි යන සැකය විදේශ නිරීක්ෂකයන් තුළ මතු වී තිබීම ඊට නිදසුනකි. ලක්ෂ තුනකට වැඩි ජනගහනයක් එම ප‍්‍රදේශයේ කොටු වී සිටියදී ආණ්ඩුව ලෝකයාට පැවසුවේ ලක්ෂයටත් අඩු ප‍්‍රමාණයක් එහි සිටින බව යි. ඊළඟට, මේ කියන කාලයේ දී කොටි සංවිධානය විසින් එම ජනයාව යුද්ධයේ පලිහක් වශයෙන් පාවිච්චි කරන බව පැහැදිළිව පෙනෙන්නට තිබිය දී, ආණ්ඩුව විසින් ‘‘යුද මුක්ත ආරක්ෂක කලාප’’ ඒක පාර්ශ්වීයව ප‍්‍රකාශයට පත්කොට, පසුව එම කලාපයට ප‍්‍රහාර එල්ල කිරීම තුළින් සිවිල් ජනයා විශාල වශෙයෙන් මියයා හැකි බව එදා බලධාරීන්ගේ සැලකිල්ලට ලක් නොවීමට ප‍්‍රබල හේතුවක් නැති බවත් එවැනි නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
මේ නිසා, ලංකාවේ මීට පෙර පැවති සෑම ආණ්ඩුවක්ම වරින් වර දියත් කළ යුද ක‍්‍රියාමාර්ගවලට වඩා පැහැදිළි වෙනසක්, අවසාන යුද්ධයේ අවසාන කාලයේ දී කෙනෙකුට නිරීක්ෂණය කළ හැකිය. එහි හරි මැද්දෙන් පිහිටි මූලික විශ්වාසය වශයෙන් කෙනෙකුට පෙනෙන්නේ මෙවැන්නකි: ‘‘සුපිරි සන්නද්ධ බලය උපරිමයෙන් යොදන තරමට, අපේක්ෂිත විසඳුම ඉක්මන් වෙයි.’’
මේ ‘යුද විසඳුම’ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ද කාර්යක්ෂම වෙතැ යි සිතන පවුලක තනි අයිතියට අද ලංකාව පත්ව තිබේ. යුද්ධය ජයගත් ආකාරයෙන්ම, යුද්ධයෙන් තොර කාලයේ සිවිල් සමාජයත් පාලනය කළ හැකි ය යන මෙම මිලිටරිවාදී චින්තනය මීට පෙර නිදහස් ලංකාවේ කිසි ආණ්ඩුවක අප නොදුටු ලක්ෂණයකි. එය අද අපට ඕනෑම මොහොතක දෛනිකව දැකගත හැකි සංසිද්ධියක් වී තිබේ. මහ පාරේ එක හැතැප්මක් ඇතුළත පොලිස්කාරයන් සහ වෙනත් ආරක්ෂක නිලධාරීන් කොපමණ ප‍්‍රමාණයක් හමු වේ දැ යි, අභ්‍යාසයක් වශයෙන් අවශ්‍ය නම් කෙනෙකුට ගණන් කළ හැකියි. මෙය ජනතාවගේ ආරක්ෂාව සඳහා යැයි පාලකයන් කියන කතාව අමු බොරුවක් වන්නේ, එතරම් සේනාවක් මැද්දේ පවා, පෙර නොවු විරූ ආකාරයෙන් මිනිසුන් පැහැරගෙන යාම් අද සතිපතා සිදුවන නිසා ය. වැඩිම ආරක්ෂාව ඇතැ යි සිතන, නීතියේ සහ යුක්ති ධර්මයේ මහදෙවොල වශයෙන් සැළකෙන අධිකරණ භූමියේ දී පවා මිනිසුන් ඉස්සීමට තරම්, ‘ජනතා ආරක්ෂාව’ බාල්දු වී ඇති යුගයකට අපි ඉදිරියේ තිබේ. විශේෂත්වය වන්නේ, ඒ කිසි අපරාධකරුවෙකු නීතිය ඉදිරියට පැමිණවීමට පාලකයන් අපොහොසත්ව තිබීම යි. ඒ උස්සන් ගිය කිසිවෙකු ‘නිදහස්’ කර ගැනීමට පාලකයන් අසමත්ව තිබීම යි. මේ සියල්ලෙන් කියැවෙන්නේ කුමක් ද? යුද්ධයේ කීර්තියට මුවා වී එක පුද්ගලයෙකු සහ එක පවුලක් තුළ බලය උපරිමයෙන් සංකේන්ද්‍රණය කර ගැනීමත්, ඊට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශිෂ්ට සම්මතයන් හරස් වන විට මිලිටරිවාදය සහ තගරිය පාරට බැස්සවීමත් ය.
මීට කලකට පෙර කටුනායක දී ඝාතනය කෙරුණේ ‘ත‍්‍රස්තවාදියෙකු’ නොවේ. ගිය සතියේ හලාවත දී ඝාතනය කෙරුණේ ද ‘ත‍්‍රස්තවාදියෙකු’ නොවේ. එහෙත් ඔවුන් දෙදෙනාම ඝාතනය කෙරුණේ, ‘ත‍්‍රස්තවාදීන්ව’ ඝාතනය කළ නිර්දය භාවයෙන්මයි. කටුනායක තරුණයාගේ මරණය පිළිබඳ විභාග කළ මහානාම තිලකරත්න පරීක්ෂණ වාර්තාව ජනාධිපතිවරයාට භාර දී දැන් මාස 6 කුත් ඉක්ම ගොසිනි. මේ දක්වා ඒ සම්බන්ධයෙන් ගත් කිසි නීතිමය පියවරක් ගැන අසන්නට නැත. හලාවත තරුණයා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණත් අවසානයකින් තොරව අවසන් වනු නොඅනුමාන යි.
මීට ඉහත දී, පුත්තලමේ දී, කින්නියාවේ දී සහ පොතුවිල් ප‍්‍රදේශයේ දී මේ ආකාරයෙන්ම ආණ්ඩුව ප‍්‍රදර්ශනය කොට සිටියේ ඕනෑම ජනතා නැගිටීමක් – එය කලබලකාරී එකක් වේවා, සාමකාමී එකක් වේවා – තුවක්කුවෙන්ම මෙල්ල කිරීම සඳහා තමන් තුළ ඇති නොපසුබට සූදානමයි. ඒ ඝාතන කිසිවකට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුව මැළි වන්නේ ඇයි? වෙන කිසිවක් නිසා නොව, ඒ සන්නද්ධ මර්දන මාදිලිය ආණ්ඩුවේම නිර්මාණයක් වන බැවිනි. විරුද්ධවාදීන් පැහැර ගැනීමෙන් සහ අහිංසක මිනිසුන් එකා දෙන්නාට ඔලූවටම වෙඩි තබා පටන් ගන්නා මෙවැනි ඝාතන, අවසානයේ සිය දහස් ගණන් ජීවිත බිලි ගැනීමක් දක්වා වර්ධනය වීම මෑත ඉතිහාසය තුළ අරාබි රටවල් කිහිපයකම අප අත්දැක තිබේ. සිරියාවේ ඒකාධිපතියෙක් අදටත් තමන්ගේම රටවැසියන් සිය ගණනින් දිනපතා ඝාතනය කරයි. ‘‘මහජන ආරක්ෂාව සඳහා’’ මහජනයාව ඝාතනය කිරීම පාලකයාගේ අභිවෘද්ධියට තුඩුදෙන්නේ ය යන මිථ්‍යාව ඇස්පනාපිට හෙලි වෙමින් ඇති යුගයක පවා, මිලිටරි ව්‍යාධියෙන් පෙලෙන නායක පැලැන්තියක ඇඟිලි දුවන්නේම තුවක්කුවේ කොකා වෙතට ය.
මේ ඝාතන, වින්දිතයන්ගේ පවුල්වලට සහ නෑහිතවතුන්ට මහා විප‍්‍රයෝගී දුකකි. එවැනි පවුලකට රුපියල් ලක්ෂ පහක චෙක්පතක් දෙන අතරේ, ලක්ෂ ගණනින් මිල කළ නොහැකි අනතුරු ඇඟවීමක් පාලකයන් විසින් සමාජය වෙත මුදා හැරේ. හලාවත තරුණයාගේ හිසේ පිටුපස හෑරි ඇති කුහරය දකින කෙනෙකුට, අද අපව පාලනය කෙරෙන මිලිටරි මානසිකත්වයේ ගැඹුර මැනගත හැකිය. තමා ඉදිරියට එන සතුරෙකු නතර කිරීමට ගිය උණ්ඩයක් වෙනුවට එම තරුණයාගේ හිසේ පසුපස සටහන් වන්නේ, පසුපස හැරී දුවන නිරායුධ සිවිල් වැසියෙකුට එල්ල කළ තඩි වෙඩි උණ්ඩයකි.
උද්ඝෝෂණ, පෙළපාලි වැනි ‘මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි’ යැයි පාලකයන් සළකන කලබලවල දී ඉස්සර සුද්දාගේ ආණ්ඩුව වෙඩි තිබ්බේ දණින් පහලට යි. එවැනි යල්පැන ගිය ක‍්‍රම දෙස වර්තමාන පාලකයන් බලන්නේ අවඥාවෙනි. අසංවිධිතව පෙළ ගැසෙන ජනතා නැගිටීම්වලට එරෙහිව ජීව උණ්ඩ භාවිත කරන පාලකයන්, රටේ පිළිගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ විසින් කල්තියා දැනුම් දීමෙන් පසු පැවැත්වෙන සාමකාමී උද්ඝෝෂණ අතහරින්නේ ද නැත. රබර් උණ්ඩ සහ කඳුළු ගෑස් ඒවාට එරෙහිව එල්ල වෙයි. නැත්නම්, පොලූ මුගුරු අතින් ගත් මැරයන්ව වීදි බස්සනු ලැබේ.
වපුරන දෙයම අස්වැන්නට ලැබේ ය යනුවෙන් කියමනක් ඇත. දකුණේ අප අද නෙලා ගනිමින් සිටින්නේ පසුගිය කාලයේ උතුරේ වැපිරූ අස්වැන්නේම කොටසක් විය නොහැකි ද?
ගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]