වගකිවයුතු ජනමාධ්‍යය විසින් සිදු කළ යුත්තේ සත්‍ය තොරතුරු සමාජගත කිරීම, යහ පාලනයකට මග පෙන්වීම, ගැටුම් සමථකරණය හෝ අවම කිරීම වැනි කාර්‍යයන් බව අපි විශ්වාස කරමු. නමුත් යම්කිසි ජනමාධ්‍යයකට අවශ්‍ය නම් ගැටුමක් හෝ අර්බූදයක් නිර්මාණය කර එය තීව්‍ර කර මහා විනාශයක් සිදුකිරීමට ද හැකියාව ඇති බවත් අපි දනිමු. මෙවැනි පසුබිමක ජනමාධ්‍ය භාවිතයෙන් බලාපොරොත්තුවන්නේ යහපත්, සාමකාමී සමාජයක් නිර්මාණය කිරීමය. මිනිසුන් අතර ජාතීන් අතර හා රාජ්‍යන් අතර යහපත් සබඳතාවයක් නිර්මාණය කිරීම සඳහා ජනමාධ්‍ය විසින් නිර්මාණශීලී හා වගකිවයුතු දායකත්වයක් ලබාදිය යුතුය.
මාගේ ලිපිය සඳහා පාදක වන්නේ 2009 මැයි මස 20 වැනි දින දිවයින පුවත්පතේ කතුවැකිය යි. මාගේ හැඟීමේ හා දැනීමේ හැටියට මේ කතුවැකිය තුළින් උත්සහා දරා ඇත්තේ ලංකාව ලෝකයෙන් වෙන්කිරීමේ උත්සාහයකි.
‛‛කොටි සංවිධානය හා ආණ්ඩුවේ හමුදා යුද අපරාධ සිදු කළේද නැද්ද යන්න සෙවීම සඳහා යුරෝපා සංගමය පරීක්‍ෂණ කණ්ඩායමක් ඇති කළ යුතු බව ඩේවිඩ් මිලිබෑන්ඩ් නැමති කබල් සුද්දෙකු කියන එක අපට ඇසුන බව’’ මේ කතුවැකිය වාර්තා කර ඇත.
‛‛එමෙන්ම දුෂ්ඨ යුරෝපීයන්ට විරුද්ධව චීනය, ඉන්දියාව, හා රුසියාව සමග ආසියානු නව හවුලක් ඇතිකළ යුතුව ඇති’’ බවට මේ කතුවැකියෙන් යෝජනා කර ඇත. මේ පුවත්පත උත්සහා කරන්නේ තවත් ලෝක යුද්ධයකට අතවැනීමටද? නැතහොත් තවත් සීතල යුද්ධයකට රට නිරාවරණය කිරිමටද යන්න නොවැටහෙන කාරණයකි.
ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව ජනවාර්ගික ගැටුම අවසන් බව අදහති. නමුත් තවත් පිරිසක් එසේ නොවන බව පවසති. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තව තවත් ප්‍රශ්ණ තිබුනත් යුදමය ගැටුම අවසන්ව ඇති බව අප පිළිගත යුතු සත්‍යකි. එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකත්වය හා අති බහුතර සාමාජික පිරිසක් දැනට විනාශ කර ඇති බවට ආරක්‍ෂක අංශ සහතික කර ඇත. එසේ නම් දැන් ශ්‍රී ලංකාව සිදුකළ යුත්තේ තෙවන ලෝක යුද්ධය සංවිධානය කිරීමද? දෙවැනි සීතල යුද්ධයකට මං කැපීමද? ශ්‍රී ලංකාවට පක්‍ෂපාත රාජ්‍ය හවුලක් සැකසීම ද? නැතහොත් මෙවැනි අර්බුදයක් යළිත් ආරම්භවීමට ඉතිරිව ඇති අහු මුල් උදුරා දමන එකද? යනුවෙන් ප්‍රශ්න කළ යුතුව ඇත.
එසේම මේ කතුවැකිය තුළින් මතුකරණ අදහස් හා මතවාදයන්ගෙන් ශ්‍රී ලංකාවේ දැනට පවතින පශ්චාත් යුදමය ගැටලුකාරී තත්ත්වයන්ට විසඳුම් සොයනවා වෙනුවට සිදුවන්නේ තව තවත් අවාසි සහගත තත්ත්වයන්ට මෙරට නිරාවරණය කිරිමයි.
අප දැන් සිදුකළ යුත්තේ ලෝකයේ ඇතැම් රාජ්‍යන් සමග වෛර බැඳ ගැනීම නොව උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සඳහා ඔවුන්ව දායක කරගැනිමයි. අපට උදව්කළ රාජ්‍යයන්ට ප්‍රණාමය පුද කිරීම කළගුණ සැලකීමේ බෞද්ධ අදහසට අනුව හොඳ වන්නා සේම ලෝකය විරසක කිරීමට උත්සහා කිරීම හා වෛරී අදහස්, පාපි අදහස් ව්‍යාප්ත කිරීම ද නොවැදගත් වන්නේ ය. සිංහල බෞද්ධ අදහස් හා මතවාදයන් නළලේ තබාගෙන පුවත්පත්කරණයේ යෙදෙන ඇතැම් පුවත්පත් සිදුකරන්නේම එම ආගමික සංසිද්ධීන් උල්ලංඝනය කරමින් පව් සිදුකර ගැනීම පමණක් නොව සුවහසක් ජනතාව මුලාකරමින් වැරදි මතයන්ගෙන් ජනමණස විකෘති කිරීමය.
මේ ගෙවෙන්නා වු පශ්චාත් යුද කාලසීමාව තුළ විවිධ ජනමාධ්‍යන්ගෙන් ඇසෙන්නට හා කියවන්නට ලැබෙන වචන කීපයක් ලෙස මෙ රටේ ස්වෛරී භාවය, ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාවය, මෙ රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වැනි වචන පෙන්වා දිය හැකිය. මෙබඳු වචන ප්‍රායෝගිකත්වයට පත් කිරීමේදී ලෝකය තුළ ලංකාව දේශපාලන අසරණ තත්වයකට පත් කිරීම සිදු නොකළ යුතුය. එසේම මෙම වචන මුමුණ මුමුණා සිටීමෙන් ද පලක් නැත. සිදුකළ යුත්තේ ඉහත සංකල්පයන් ආරක්‍ෂා වන අයුරින් ලොකයේ රාජ්‍යයන් සමග තව තවත් සමීප සබඳතා පවත්වා ගැනීමය. මෙ රටේ අභිවෘද්ධිය සඳහා ගතයුතු දේ ලබා ගැනීම ය.
අප සිදුකළ යුත්තේ ‛‛දුෂ්ඨ යුරෝපියන්ට එරෙහිව ආසියානු නව හවුලක් ගොඩ නැගීම’’ යන්න නොව මෙ රටේ අඩු පාඩු සකස්කර ගනිමින් තවත් රටකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට අත දිගු කිරීමට නොහැකිවන අයුරින් යුද්ධය නිසා අවතැන් වූ අහිංසක ජනතාවට මානව හිතවාදීව සලකමින් හැකි ඉක්මනින් ඔවුන්ගේ ගම් බිම්වල නැවත පදිංචි කරවීමයි. සියලු වැසියන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට එහා මෙහා ගමන් කිරීමට හැකි පරිසරයක් උරුම කර දීම ය.
එච්. ජේ. සම්පත්