[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත් ලිපි, ප්‍රකාශණය – යුක්තිය පුවත් පත – මුද්‍රණය 1998.]
ලෝක මානව හිමිකම් දිනය සැමරීමේ උත්සව වලින් සංඛේතවත් වන සමහර තත්ත්වයන් සිහියට නැගීම මේ සටහනේ අරමුණයි.
ප්‍රථමයෙන් මේ උත්සවයන්ගෙන් ගම්‍ය වන්නේ අද ලොව වටාම පිළිගත් මානව අයිතීන් පද්ධතියක් ඇති බවයි. මෙය ඉතාම මෑතදී පරිපූර්ණ වූ තත්ත්වයකි. දහ නව වන සියවසට පෙර මෙවැනි තත්ත්වයක් නොවීය. මානව හිමිකම් යන වචන ද්වයෙන්ම හැගෙන්නේ ලොව වාසය කරන සෑම පුද්ගලයාටම යම් යම් හිමිකම් පොදුවේ ඇති බවයි. මෙයට පදනම සෑම මිනිසාම මේ අයුරින් සමාන බව පිළිගැනීමයි. ඒ පිළිගැනීම ජාත්‍යන්තර ප්‍රඥප්තීන් මගින්, ජාත්‍යන්තර මානුෂික නීති මගින්, සෑම මිනිසාටම බලපාන අයුරින් ක්‍රියාවට පෙරලීමේ වෑයමයි.
ඉන්දියානු සමාජය රැගෙන බැලුවොත්, එහිදී බ්‍රාහ්මණයාගේ හිමිකම් හා යුතුකම් හෝ ක්ෂත්‍රියාගේ හිමිකම් හෝ යුතුකම් හෝ ශුද්‍රයාගේ හිමිකම් හා යුතුකම් හෝ දැකිය හැක. කුලයන් අනුව මිනිසාගේ හිමිකම් හා යුතුකම් නිශ්චය කරනු ලැබේ. මේ සෑම මිනිසාටම බලපාන පොදු හිමිකම් මාලාවක් ගැන කතා කිරීමට ඒ සංස්කෘතියේ ඉඩ නොතිබුණි. මෙවැනිම තත්ත්වයක් මධ්‍යගත යුගයේ වැඩවසම් යුරෝපයේ ද, පැවතුණි. එහි රදලයාට සහ ප්‍රෙව්ණි දාසයාට එකසේ බලපාන අයිතීන් හෝ හිමිකම් නොතිබුණි. පුරාතන ලාංකීය සමාජයේ ද මේ තත්ත්වයමයි. රජතුමාට, රදලයාට, ගොවියාට, ආචාරියාට, කුඹලාට එකසේ සාධාරණ වූ අයිතීන් හෝ හිමිකම් පිළිබද හැගීමක් හෝ එහි නොතිබුණි. සංසාරය ගැන කුසලාකුසල ධර්මයන්ට අනුරූපීව නැවත නැවත ඉපදීම, එයින් මිදීමට නිර්වාණය සාක්ෂාත් කර ගැනීම ගැන බුදුන්ගේ දහම පිළිගත් සිංහල සමාජය ඔවුන් ජීවත් වන මේ ලෝකය උන් වහන්සේ විසින්ම, දේශනා කරන ලද සමානාත්මතාවය යන පදනම උඩ සකස් කර ගැනීම ප්‍රතික්ෂේප කළේය.
පුරාතන ලෝකයේ පැවති නොයෙක් ධූරාවලීන්ට අනුකූලව හැඩ ගැසුණු සමාජයන් තුළ තිබූ විවිධාකාර හර පද්ධතීන් අභිබවා විශ්ව සාධාරනීය හර පද්ධතීන් ගොඩ ගැනීම කොසේ සිදු වූ යේද, යන්න ඊළගට සලකා බලමු. ඒ විපර්යාසය බටහර යුරෝපයේ කාර්මික ශිෂ්ටාචාරයේ වර්ධනයත්, ධනවාදී ආර්ථිකයේ වර්ධනයත් සමග සිදු වූ බව පෙනේ. ධනය ඉදිරියේ ඇත්තේ ධනය ඇති වීම හෝ නැති වීම පමණයි. වෙනත් ධූරාවලීන් එහි ඉඩ නැත. ධනවාදයේ වර්ධනය සදහා සෑම මිනිසාම එකම තත්ත්වයන්ට පරිවර්ථනය කරන හර පද්ධතීන් අවශ්‍ය වේ. කාර්මික ශිෂ්ඨාචාරය සහ ධනවාදය ලොව පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් මිනිසාගේ සමානාත්මතාවය පිළිබද සංකල්පය ලොව පුරා පැතිරුණි.
මෙහිදී තවත් ප්‍රශණයක් පැණ නගී. මේ සංකල්පය අධිරාජ්‍යවාදී බලපෑමත් සමගම තෙවැනි ලෝකයට ආ බව සත්‍යයකි. එය අපේ සමාජය තුළ ඓන්ද්‍රීය වශයෙන් පදනම් කර ගෙන ඇති පූර්ව ධනවාදී අදහස් හා එය ගැටෙයි. මේ නිසාම සමානාත්මතාවය පිළිබද සංකල්පය පිළිගැනීමට අප මැළිවිය යුතු ද? අපට ආවේණික වූ මූලයන්ට ගැලපෙන දෙයක් නොවූ පළියට එය ප්‍රතික්ෂේප කළ යුතුද?
මෙවැනි මත දරණ අය සිටින්නට පුළුවන. එසේ හැගීම නම් විශ්ව සාධාරණීය සංකල්පය අප විසින් සැළකිය යුත්තේ මානව සංහතියේ ජයග්‍රහණයක් ලෙසටයි. එක ශිෂ්ඨාචාරයටක හෝ රටක යම් ජයග්‍රහණ පිට රටට, මුළු මිනිස් වර්ගයාටම බලපාන අයුරින් ව්‍යාප්ත වී නැත.
එසේ සමානාත්මතාවය පිළිබද වූ මේ සංකල්පය ද, සකල මින්ස් වර්ගයාගේ වර්ධනයට ඉවහල් වන ඉදිරි පියවරක් සේ අප විසින් ද පිළිගත යුතුය. අපේ අනෙකුත් සමාජ සංස්ථාවන්ට ද, බලපාන අයුරින් එය වර්ධනය කිරීමටද උත්සහ කළ යුතුය.
මීට පෙර තම සීමාවන් තුළ වාසය කරන්නන්, හැසිරවීමට නීති පැනවීමට තනි අයිතිය තිබුණේ රාජ්‍යයටයි. දැන් රාජ්‍ය ඉක්මවා යන ජාත්‍යන්තර නීති මාලාවක් ඇත. ඒ නීති මාලාව පිළිපැදීමටත්, ඒවා උල්ලංෂණය නොකිරීමටත් රාජ්‍යයන් බැදී සිටී. රාජ්‍යයන්ගේ ක්‍රියා පටිපාටීන් පරීක්ෂා කිරීමටත්, විවේචනය කිරීමටත් ජාත්‍යන්තර ආයතන පිහිටුවා ඇත. රාජ්‍යයන්ගේ විෂමාචාර ගැන පැමිණිළි කිරීමට හැකියාව ද දැන් ඇත. ඒ සදහා නොයෙක් ජාත්‍යන්තර සංස්ථා ද දැන් ඇත. විශ්ව සාධාරණ හර පද්ධතීන් පැතිරෙත්ම රාජ්‍යයන්ගේ ඒකාධිකාරයක් වී මෙතෙක් කල් පැවති බලතල ද සීමා වේ. මානව හිමිකම් පිළිබද දැන් රාජ්‍යෙයේ ස්වාධිපත්‍යයන් නැත. එහි වැදගත් කොටසක් දැන් රාජ්‍ය අතින් ගිලිහී ගොස් ජාත්‍යන්තර සංස්ථාවන් වෙත රැදී ඇත. මෙයද එක් අතකින් මිනිස් වර්ගයාගේ ජයග්‍රහණයකි.
1992 දෙසැ. 08 දා