ලංකාවේ මේ වෙනකොට මානව හිමිකම් සම්බන්ධයෙන් බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. සමස්ත චිත්‍රය දිහා බලන කොට මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික වෙලා තියෙන්නෙ දෙමළ ජනතාව. යුද්ධය ඉවර වෙද්දි සිදු වුණු සිද්ධිදාමයක් පදනම් වෙලා තමයි මේ අවස්ථාවේ ඇති වෙලා තියෙන සංසිද්ධිය ඇති වෙලා තියෙන්නෙ. නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව ඒ කියන්නෙ, ඇමරිකාව,ඉන්දියාව,චීනය, රුසියාව වැනි රටවල් එක එක ආකාරයට මැදිහත් වෙනවා. නමුත් මේ කාටවත් ඇත්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් අවංක වුවමනාවක් නැහැ. කොටස් වෙලඳ පොළේ ආයතනයක වටිනාකම ව්‍යාජ ලෙස අඩු හෝ වැඩි වෙන්න පුළුවන් තත්ත්වයට සමපේක්ෂණය කියලා කියනවා. ඉතින් ඒ ආකාරයට මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම සමපේක්ෂණය වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නය පෙන්න ගෙන කිසිසේත්ම,කවුරුත් කතා කරන්නෙ ඒ ප්‍රශ්නය ගැන නෙමෙයි.
අපි මේ ප්‍රශ්නය ගැන කතා කළා කියලා ජාත්‍යන්තර ප්‍රජාවට ඒක දැනෙන එකක් නැහැ. මොකද ඒ අය මේවා කරන්නෙ යම් ව්‍යාපෘතියක් ඇතුළෙ. ඒක නිසා හෙල උරුමය කරනවා වගේ අපි මේකට උත්තර දෙන්න යන්න ඕනෙ නැහැ. මේ ප්‍රශ්නයට ලංකාව පැත්තෙන් උත්තර බඳින කොට ඒක සිදු වෙන්නෙ ඇත්තටම අල්ලපු ගෙදරට උත්තර දෙනවා වගේ තත්ත්වයක් යටතේ. ප්‍රාදේශීයවාදයකින් තමයි මේ සම්බන්ධයෙන් කතා කරන්නෙ. මේක මම හිතන්නෙ ගැටළු සහගත තත්ත්වයක්. මේ ගැටළුව, බණ්ඩාරනායක මහත්තයලා, ඩී.ඒ.රාජපක්ෂ මහත්තයලා, ඒ අයට යූ.එන්.පී එකේ තැනක් නැති වුණාම ඒකට වෙනස් පවුල් වාදයක් එලියට ඇවිල්ලා හදලා, ඒක පවත්වගන්න හදාගත්ත ප්‍රශ්නයක්. ඉතින් ඒක චුයින්ගම් එක වගේ අද දක්වාම චුයින්ගම් අදිනවා. මේ කාරණය මග ඇරලා මේ ප්‍රශ්නය දිහා බලන කොට එතන ඉඳලම තියෙන්නෙ ප්‍රාදේශීයවාදය හා පවුල්වාදය මුල් කරගෙන පිළිතුරු බැඳීමක්. මේ සම්බන්ධයෙන් චම්පික රණවකගෙන් ඇහුවහම කියන්නෙ උගත් පාඩම් හා සංහිඳියා කොමිසම ඒ අයගේ වැඩේ හරියට කරලා නැහැ. ඒ අයට රටේ සෛවරීයභාවයට ඇඟිලි ගහන්න කිව්වෙ නැහැ කියලා. ඒ කියන්නෙ චම්පික රණවකලා උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාව ඉදිරිපත් කරන්නත් කලින්, මේ වගේ දෙයක් තමයි වාර්තාවෙ තියෙන්න ඕනෙ කියලා තීරණය කරලා තියෙනවා. අනුරුද්ධ ප්‍රදීප් වගේ අය කියන්නෙ, අපි විතරද වැරදි කළේ, ඇයි එයාලා වැරදි කළේ නැද්ද කියලා. ජේ.වී.පී එක සහ ජන අරගල ව්‍යාපාරය ගත්තොත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒ අයට වැලේ වැල් නැති වෙලා ඉන්නේ. යූ.එන්.පී එක ගත්තොත් ඒ අය කියන්නේ ඔයාලගේ ප්‍රශ්න ඔයාලා බේරගන්න, අපි ඕවාට නැහැ, අපි හින්ද තමයි ඔය විදිහටවත් බේරිලා ඉන්නෙ කියලා. මේ වගේ උත්තර බැඳිල්ලක් තමයි තියෙන්නෙ. මේක ප්‍රාද්ශීයවාදියි කියලා කිව්වෙ ඒකයි. අනිත් පැත්තෙන් මේක හරි තක්කඩි කියලා කියන්න පුළුවන්. මොකද මේ අය හොඳට දන්නවා ලංකාවේ ජන විඥානය ගැන. මේක ගැන තමයි අපි කතා කරන්න ඕනෙ. ඒක පැත්තකට දාලා ජීනිවා වලට උත්තර බඳින්න ගිහින් තේරුමක් නැහැ. ඒ අය කොහොමත් ඒ අයගේ ව්‍යාපෘතිය කරනවා.
ලංකාවේ මේ වෙන කොට ගොඩ නගලා තියෙන දෘෂ්ටිවාදය තමයි ඊළඟ වැදගත් කාරණය. රට,ජාතිය, ආගම වගේ ඒවත් එක්ක පටලවගෙන මේවට උත්තර බඳින්න න්‍යායක් හදා ගෙන තියෙනවා. මේක අපි කතා කරන්න යනකොටත් අපි පත්වෙන අපහසුතාවය තමයි ගොඩනගාගෙන තියෙන යම් රාමුවක් ඇතුළෙ තමයි අපි හැමෝටම උත්තර බඳින්න වෙලා තියෙන්නෙ. අපි අපේ රටේ මිනිස්සුන්ව අල්ලල දෙන්න යන්නෙ නැහැ වගේ, උත්තර තමයි රනිල් වුණත් දෙන්නෙ. ඒ කියන්නෙ මුළු විපක්ෂයම කොන්දක් නැති තැනට ගිහිල්ලා තියෙනව. දෘෂ්ටිවාදය බූවල්ලෙක් වගේ අපේ රට කොයිතරම් අල්ලගෙන ඉන්නවද කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. මේ අයම තමයි සුද්දො අපිට දීලා ගිය ආයතන පද්ධතිය විනාශ කරන්නෙ. උදාහරණයක් හැටියට අධ්‍යාපනය සම්බන්ධයෙන් රැකිලා තිබුණ සියළුම පුරුෂත්වයන් මෑත කාලීනව මේ අය සම්පූර්ණයෙන්ම නැති කරලා දාලා තියෙනවා. යුද්ධෙ ඉවර වුණාට පස්සෙ අවුරුදු තුන ඇතුළත සියළුම රාජ්‍ය ආයතන පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තියෙනවා. පොලීසිය, උසාවිය, විශ්වවිද්‍යාල, තෙල් සංස්ථාව වගේ හැම රාජ්‍ය ආයතනයක් අද බිඳ වැටිලා තියෙනවා. ඉතින් මේවා වෙන්නෙත් දේශප්‍රේමය රකින, දේශප්‍රේමය ගැන කතා කරන මේ අයගේ අතින්ම තමයි. අනික් පැත්තෙන් සියළුම විරුද්ධ මත සම්පූර්ණයෙන්ම මර්ධනය කරපු රටක ,දෙමළ ජාතියට විතරක් නෙමෙයි, සිංහල ජාතියටත් ජිනීවා වලට නෙමෙයි අඟහරු වලට හරි ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳගන්න වෙනවා. මොකද කතා කරන්න විදිහක් නැහැ. කතා කරපු ගමන්ම දේශප්‍රේමියෙක් හරි දේශද්‍රෝහියෙක් හරි කියලා ඉතාම සරල බෝඩ් එකකින් දීර්ඝ කාලීනව කතා කළ යුතු දේවල් සම්පූර්ණයෙනම් මර්ධනය කරලා තියෙනවා. උදාහරණයක් විදහට විකල්ප මතයක් දරන ඕනෑම අයෙක්ට රට හැර යන්න සිද්ධ වෙලා තියෙනවා. මේ පිළිබඳව කාටවත් කතා කරන්න බැහැ. මේක තමයි දේශප්‍රේමය කියලා කියන්නෙ.
යුද්ධය කරගෙන ගියේ කාගෙන්වත් අහලද? ඉතින් මේ අය ඇමරිකාවෙ, චීනයේ පොඩි මල්ලි කියලා කියන්න වෙන්නෙ ඒකයි. චීනය දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් අනුගමනය කරන්නෙත්, ඇමරිකාව අනුගමනය කරන්නෙත් මේ ක්‍රියාමාර්ගම තමයි. ඉතින් ලංකාවත් ඒ දේම කරනවා. අවසානයේ එක වගේ ක්‍රියාකරපු තුන්දෙනෙක් එකට හමු වෙලා තියෙනවා. එහෙම නැතිව අමුතු විශාල ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. තම තමන්ගෙ ප්‍රශ්න වලට කුලල් කා ගැනිල්ලක් තියෙන්නෙ. ගැටළුව තියෙන්නෙ ඒ අය කුලල් කාගෙන ඉවර වෙන කොට ලංකාවේ ජාතික ප්‍රශ්නයට මොකද වෙන්නෙ කියන එක. දැන් උතුරෙ කාටවත් මේ වෙන කොට දේශපාලනය කරන්න පුළුවන්ද? ජවිපෙට, එජාපයට, දෙමළ පක්ෂ වලට සහ කාට වුණත් විකල්ප දේශපාලනයක් උතුරු නැගෙනහිර කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම අතුරුදහන් වෙන ගාන ගත්තොත් ඒ ගැන වෙනම වාර්තා ගණනාවක් හදන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් එල්ලාවල මේධානන්ද වගේ විශාල ජාතිවාදීන් පිරිසක් උතුරේ තියෙන සමස්ත දෙමළ සංස්කෘතිය බුල්ඩෝසර් කරමින් අළුත් ඉතිහාසයක් ලියමින් ඉන්නවා.
එක පැත්තකින් දේශප්‍රේමය තියාගෙන, අනිත් පැත්තෙන් ජාත්‍යන්තර ප්‍රශ්නයකට අල්ලපු ගෙදර මිනිහට උත්තර බඳිනව වගේ උත්තර බඳින, ලංකාවේ සාමාන්‍ය ජනවිඥානයට මේ වගේ ප්‍රශ්නයක් කතා කරන්නෙ කොහොමද කියලා මුල ඉඳලම උගන්වන්න වෙනවා. මොකද ඒ විඥානයත් එක්ක තමයි අපිට ගැටෙන්න වෙන්නෙ. ජාත්‍යන්තර වශයෙන් සිදුවන ඇත්තම ප්‍රශ්න වුණත් අපේ භාෂාවට හරවලා, සමපේක්ෂණය කරලා තමයි අපිට කතා කරන්න වෙන්නෙ. ඇත්තටම ගත්තාම ලංකාව විශාල අර්බුදයකට මේ අවස්ථාවේ මුහුණ දීලා ඉන්නවා. යුද්ධය ඉවර වුණාට පස්සෙ ලංකාව සුන්දර රටක් වෙයි කියලා බොහෝ අය හිතුවා. නමුත් යුද්ධය ඉවර වුණ එකත් එක්ක තමයි අපි ජාත්‍යන්තරයට හිර වුණා නම් හිරවෙච්ච හොඳම අවස්ථාව. සරලව යුද්ධය ඉවර වුණාට පස්සෙ අපිට දැන් පාරෙ බැහැල යන්න පුළුවන් කියලා බොහෝ දෙනා ඉතා සරලව හිතනවා. ඒක තමයි අපේ රටේ මිනිස්සුන්ගෙ විඥානය. එතනින් එහාට හිතන්න බැහැ. උදාහරණයක් විදිහට ජාත්‍යන්තර වශයෙන් තොරතුරු තාක්ෂණය දියුණු මේ වගේ අවස්ථාවක, දිනපතා අන්තර්ජාලයේ සැරිසරන කෙනෙක්ගෙන් වුණත් අරාබියෙ සිදුවන දේ ගැන ඇහුවොත් ඒක දන්නෙ නැහැ. ඒ ගානට අපේ සමාජය නිද්‍රාශීලී වෙලා ඉන්නවා. ඒ වගේ පිරිසක් එක්ක ජාතික ප්‍රශ්නය කතා කරන්නෙ කොහොමද කියලා ඇත්තටම තේරෙන්නෙ නැහැ. සාමාන්‍යයෙන් තොරතුරු දැනගන්න ඕනෙ කියලා කිව්වට කාටවත් තොරතුරු දැනගන්න උවමනාවක් නැහැ. මේ වගේ මිනිස්සු එක්ක තමයි අපි මේ බරපතල කාරණා කතා කරන්නෙ. කලාපීය බල අරගලයන්, ඉන්දියාව ඇයි ඇමරිකාවට උත්තරයක් දෙන්නෙ නැත්තෙ? චීනය ඇයි මෙච්චර ලංකාවට ආදරේ? ඒ වගේ ප්‍රශ්න අපි කතා කරන්නෙ කොහොමද අර වගේ විඥානයක් තියෙන මිනිස්සු එක්ක. ඉතින් කවුරුහරි විකල්ප අදහසක් දරණ සංවිධානයක් හරි, පුද්ගලයෙක් හරි මුලින්ම කරන්න ඕනෙ ජිනීවා එක සම්බන්ධයෙන් පිළිතුරු බඳින එක නෙමෙයි සාමාන්‍ය ජන විඥානය වෙනස් කරන්නෙ කොහොමද කියන එක ගැන කතා කරන එකයි. ඇෆ්ගනිස්ථානයට වැහැලා තියෙනවා හිම වැස්සක් ගැන මේ ළඟදි ප්‍රවෘත්තියක් අහන්න හම්බ වුණා. මේ හිම වැස්ස දැකලා ඇෆ්ගනිස්ථානයේ මිනිස්සු අපිට ලොකු භාග්‍යයක් උදා වෙලා තියෙනවා කියලා වන්දනාමාන කරලා තියෙනවා. මේ හිම වැස්ස, ලෝක පරිසර අර්බුදය විශාල වශයෙන් අර්බුදයට පත් වුණ එකේ නරක සංඥාවක් කියලා මේ අය දන්නෙ නැහැ. ඒ ආකාරයටම ලංකාවේ යුද්ධය ඉවර වුණා කියලා අපේ රටේ මිනිස්සු ගොඩක් වන්දනාමාන කරනවා. අන්න ඒ වගේ හිම වැස්සවල් වලට වන්දනාමාන කරන මිනිස්සු එක්ක තමයි අපිට දේශපාලනය ගැන කතා කරන්න වෙන්නෙ.
අනිත් වැදගත්ම කාරණය තමයි ලෝක දේශපාලනයේත්, ලංකාවේ දේශපාලනයේත්, අද දේශපාලනය කියන්නෙ සිද්ධි වලට උත්තර දීමක් බවට පත් වෙලා තියෙනවා. එක එක සිද්ධි වලට උත්තර දෙන්න ගන්නවා. මම හිතන්නෙ 2009 යුද්ධෙන් පස්සෙ මේ තත්ත්වය සීඝ්‍රයෙන් පේන්න තියෙනවා. එක්කො චැනල් ෆෝ සිද්ධියට, නැත්නම් දරුස්මාන් සිද්ධියට වගේ සිද්ධි වලට තමයි උත්තර දෙන්නෙ. එල්.ටී.ටී.ඊ එක හැදුනෙ ඇයි කියලා දැන් කාටවත් මතක නැහැ. මේ ආකාරයට, අපේ දේශපාලන විඥානය සිද්ධි වලට ඌනනය කිරීමේ තර්කනයක් මේ වෙලාවෙ ජාත්‍යන්තර දේශපාලනයේත්, ලංකාවේ දේශපාලනයේත් දකින්න පුළුවන්. මේ උගුලට අපි අහු නොවී ඉන්න ඕනෙ. මොකද සිද්ධි වලට ඌනනය වුණාම සමස්ත චිත්‍රය පිළිබඳව තියෙන මාලිමාව අපිට නැති වෙලා යනවා. සමස්ත චිත්‍රය පිළිබඳව අපේ සංජානනය දුර්වල කරවන මේ සිද්ධිවාචික දේශපාලනය සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරන්න ඕනෙ.
බූපති නලීන් වික්‍රමගේ[Boopathi Naleen Wickramage]
(සාකච්ඡාවක් ඇසුරෙනි)