සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

යුද්ධයට පසු ශ්‍රී ලංකාව : ශ්‍රී ලාංකික යුධ සිනමාව සහ ප්‍රතිසන්ධානය


ඕනෑම ගැටුම්කාරී පරිසරයක ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය එනම් විශේෂයෙන් සිනමාව අධිපති ප්‍රචාරණ උපකරණයක් ලෙස භාවිත කරයි. ශ්‍රී ලාංකික සන්දර්භය තුළ ද රාජ්‍ය හා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විවිධ නම් වලින් යුතුව සිය මතවාදය ප්‍රචාරණය කිරීම සඳහාත් තමන්ව ධනාත්මක ලෙස ස්ථානගත කරවීමටත් දෘෂ්‍ය මාධ්‍ය භාවිත කර තිබේ. රාජ්‍ය විසින් ඍජුව අනුග්‍රහය ලබන සිනමාව රාජ්‍යයේ ‘හඩ’ දරා සිටී. එලෙස ‘ස්වාධීන‘ සිනමාව රාජ්‍යයේ මතවාදය සමග සිටගත් විට රාජ්‍ය සම්මාන උළෙලවල්හිදී හොඳම සම්මාන දිනා ගැනීමටත්, රාජ්‍ය මාධ්‍ය අවධානය දිනා ගැනීමටත් සහ මහජන නැරඹීමටත් නීතිමය වශයෙන් යෝජනා කරනු ලැබීමට සුදුසුකම් ලබනු ඇත. කෙසේ වුවද සමහර සිනමා රාජ්‍ය මතවාද ප්‍රතික්‍ෂේප කිරීමට පෙළඹෙන විට ඒවා රාජ්‍ය විසින් ප්‍රසිද්ධියේ අවලාදයට ලක් කරයි. ගැටුමේ අවසානයත් සමග සිනමාවේ කාර්යභාරය අවසන් නොවේ. සැලකිය හැකි ලෙස ම පශ්චාත් යුධ පරිසරයක පුළුල් ප්‍රේක්‍ෂක ප්‍රජාවකට ඔවුන්ගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය ආගමික සහ වාර්ගික සීමාවන් නොසලකා ඇමතීමට ඇති හැකියාව නිසා එයට ප්‍රධාන භූමිකාවන් රඟ දැක්වීමට හැකිය.

වර්තමාන පශ්චාත් යුධ අවධියක එනම්, යුද්ධය නිල වශයෙන් අවසන් වී තිබියදී රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් විසින් සහජීවනය සඳහා සමාජ දේශපාලනික ප්‍රයත්නයන්හි නියැලී සිටී. වත්මන් ආණ්ඩුව, ගැටුම් අවධිය පිළිබඳ හා සමස්තයක් ලෙස රට අත් විඳි විඳවීම් ප්‍රතිබිම්බනය කිරීමටත් යුද්ධය හා සම්බන්ධ මෑතකාලීන ඉතිහාසයෙන් උගෙන එය මඟින් අනාගතයේ කුමන හෝ ගැටුමක් ඇති වීම වලක්වා ගැනීම තහවුරු කිරීම, සාමය, සහජීවනය සහ සෞභාග්‍යය පිරි කාලයක් ජනතාවට තහවුරු කිරීමත් අරමුණු කරගනිමින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම (LLRC) සකස් කර ඇතී සංහිඳියාව වර්ථමානයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සිය න්‍යාය පත්‍රයන්හි ප්‍රධාන අවධානය දිනාගෙන ඇතී බවත්
ප්‍රතිසන්ධානගතවීම ආගමික අර්ථයෙන් මෙන්ම සමාජ දේශපාලනික අර්ථයෙන් ද මේ වන විට දැකිය හැකිය. බෞද්ධ අර්ථයෙන් එය සමාව දීමකට වඩා දෙයක් අවශ්‍ය වන මිත්‍රත්වයට යළි පැමිණීමකි සහ විශ්වාසය යළි ස්ථාපිත කිරීමකි. ඊට සමානව ක්‍රිස්තියානි ධර්මය මඟින් අනුමත කරන අදහස නම් ප්‍රතිසන්ධානගතවීම තුළ යම් අයෙකු ඇහුම් කන් දීමට සහ සමාව දීමට ඉගෙන ගත යුතුය.

ජෝන් පෝල් ලෙඩරච්ගේ සමාජ දේශපාලන අර්ථ විචාරයට අනුව ප්‍රතිසන්ධානගතවීම යනු, බිඳී විසිරුණු සබඳතා නැවත ස්ථාපිත කරන ඒවා සුවපත් කරන ගමනකි. ළඟා වීමට ඇති ස්ථානයකි. ඔහු තවදුරටත් ප්‍රතිසන්ධානගතවීම යනු සත්‍යය, සමාව දීම, යුක්තිය හා සාමය එක් කරන විවිධ අන්තර් සමාජ ශඛ්‍යතාවන් සහිත වෙනස් සමාජ අවකාශයන්ගේ සම්බන්ධතා ඉහල නඟන ස්ථානයක් බව පවසයි. එය සත්‍යය, යුක්තිය, සාමය හා සමාව දීම හමුවන ස්ථානයට යන ගමනයි.

මෙම අදහස් හි ආලෝකය ගෙන ගැටුම්කාරී ප්‍රජාව ප්‍රතිසන්ධානගත කිරීම සඳහා පශ්චාත් යුධ ශ්‍රී ලාංකීය සිනමාවේ භූමිකාව දෙස බැලීම වැදගත් වනු ඇත.

පශ්චාත් යුධ ශ්‍රී ලාංකිය සිනමාව

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ අවධිය තුළ විවිධ චිත්‍රපට නිපදවනු පෙනේ. යුධ විරෝධී චිත්‍රපට ගැටුම් පවතින කාලයේ නිපදවනු දක්නට ලැබුණත් ඉන් අනතුරුව පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ මෙම ගණයට අයත් චිත්‍රපටයකට ඇත්තේ විමුක්ති ජයසුන්දරගේ අහසින් වැටෙයි යන්න පමණය. අරාජිකත්වය දෛනික පර්යාය බවට පත්වී ඇති පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ සන්දර්භයට අධි යථාර්ථවාදී සහ වියුක්ත සංග්‍රහයක් ඉදිරිපත්කරන මෙම චිත්‍රපටියේ සිද්ධීන් හිංසනය දරාගත් ශ්‍රී ලංකාවේ පැරණි සහ මෑතකාලීන ඉතිහාසය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරයි. මෙම චිත්‍රපටිය 2009 වැනීස් චිත්‍රපටි උළෙල හිදී තිරගත කළ අතර 2011 ජුනි 05 නුවර පැවති ජාත්‍යන්තර චිත්‍රපටි උළෙල හිදී ද තිරගත කළේය. කෙසේ වුවද එය ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයන් වෙනුවෙන් තිරගත නොවුනි. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවට ඒ පිළිබඳ ඇති අවබෝධය අවමය.

කෙසේ වුවද ජනතාවට නැරඹීමේ අවකාශය ඇති චිත්‍රපටි 5ක් තිබේ. 2010 ජුනි 24 නිකුත් කළ රෝහණ තිත්තවැල්ලගේ ‘‘ස්තූතියි නැවත එන්න”, 2010 සැප්තැම්බර් 02 දින නිකුත් කළ බෙනට් රත්නායකගේ ‘‘ඉර හඳ යට”, 2011 ජනවාරි නිකුත් කරන ලද සුනෙත් මාලිංග ලොකුහේවාගේ ‘‘සිංහාවලෝකනය”, 2011 මැයි 18 නිකුත් කළ සනත් අබේසේකරගේ ‘‘මහින්දාගමනය”, 2011 අගෝස්තු 19 නිකුත් කළ සරත් වීරසේකරගේ ‘‘ගාමණී” යන චිත්‍රපටි වෙළඳපොළ සාර්ථකත්වය ළඟා කරගනිමින් පුළුල් ලෙස ලංකාව පුරා ග්‍රාමීය ප්‍රදේශ ද ඇතුළත්ව තිරගත වුනි. මහින්දාගමනය ජයග්‍රාහී දින 100 පසුකරමින් ද, ගාමනී දින 50 පසු කරමින් ද තවමත් එනම්, 2011 ඔක්තෝබර් මාසය වන විටත් තිරගත වේ. ගාමනී චිත්‍රපටියේ සම්ප්‍රදායට සමාන බූඩි කීර්තිසේනගේ මාතා චිත්‍රපටය මේ වන විට තිරගත වෙමින් පවතී.

අපගේ දැක්මට අනුව මෙම චිත්‍රපටි සිනමාත්මක සහ කලාත්මක භාවයෙන් තොරය. ඒවා ජනප්‍රිය ලෙස නිමකළ ඒවා මිස ජනප්‍රිය වීමට නිමකළ ඒවා නොවන බව දැකිය හැකිය. මහින්දාගමනය හා ගාමණී රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලදී. සිංහාවලෝකනය 2011 ලෝක ක්‍රිකට් කුසලානය නිමිත්තෙන් නොමිලේ මහජන දැක්මට විවෘත වූ අතර ඉර හඳ යට චිත්‍රපටිය ජාත්‍යන්තර සම්මානලාභී චිත්‍රපටියක් ලෙස පැසසුමට ලක් විය.

අන්තර්ගතය

ස්තූතියි නැවත එන්න චිත්‍රපටිය හැර අනෙක් චිත්‍රපටි හතරම විවිධ මට්ටම් වලින් ජාතිකවාදී අදහස් ප්‍රචාරණය සඳහා සම්බන්ධ වී තිබුණි. ස්තූතියි නැවත එන්න චිත්‍රපටිය, විමුක්ති ජයසුන්දරගේ 2005 කැන්ස් ජයග්‍රාහී චිත්‍රපටිය වන ‘‘සුළඟ එනු පිණිස” චිත්‍රපටියේ දෘෂ්‍යමය භාවිතය මත පදනම් වූ බව පැහැදිලිව පෙනෙයි. කෙසේ වුවද, මතවාදීමය වශයෙන් මෙම චිත්‍රපටි දෙක අදහස් 2ක් දරා සිටී. යුද්ධයේ බලපෑමට ලක් වූ මායිම් ගම්මානයක වාසය කරන ධනාත්මක සහ ප්‍රතිඵලදායී අනාගතයක් එනතෙක් බලා සිටින මිනිසුන් කණ්ඩායමක් චිත්‍රපටිය විසින් නිරූපණය කරයි.

ඉර හඳ යට චිත්‍රපටිය සොල්දාදුවෙකු හා ගැටුමේදී දැඩිව තුවාල ලැබූ හමුදා නිලධාරියෙකුගේ හමුවක් වටා මූලික වේ. නිලධාරියාගේ මරණයත් සමග මළ මිනියට යුක්තිය ලඟා කර දීමට සොල්දාදුවා විඳවීම් සහගත ගමනක් යයි. සිංහාවලෝකනය චිත්‍රපටිය පූර්ව නිදහස් ශ්‍රී ලංකාව පසුබිම් කොට ගෙන ඇත. එහි අන්තර්ගතය වී ඇත්තේ නිදහස ලබා ගැනීම සඳහා ලංසුවක් ලෙස ඉංග්‍රීසි ක්‍රිකට් කණ්ඩායමක් පරාජය කිරීම සඳහා දේශීය කණ්ඩායමක් විසින් අභියෝගයක් භාර ගැනීමයී ඔවුන් කාලය හරහා යමින් 2009 වර්ෂයට පැමිණ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් පුහුණුව ලබා බ්‍රිතාන්‍ය යටත් විජිතයට එරෙහිව සාමූහික ජාතිකවාදී ධෛර්ය පෙන්නුම් කරමින් නැවතත් කාලය හරහා යමින් තරඟය ජයග්‍රහණය කරයි.

මහින්දාගමනය චිත්‍රපටිය දේවානම්පියතිස්ස රජතුමාගේ (ක්‍රි 307-267) අවධියේ සිදුවූ සිද්ධීන් වටා ගොනු වී ඇත. එය නම් කර තිබුනේ ‘‘දේශයක පිබිදීමක්” ලෙස ය. 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම නිමිතිකොටගෙන නිකුත් වූ මෙම චිත්‍රපටියට රාජ්‍ය මාධ්‍යයන් හි පුළුල් ප්‍රචාරයක් ලබුණි. එලෙසම ගාමනී චිත්‍රපටිය ද රාජ්‍ය මාධ්‍ය මගින් අනුබල ලබන ලදී. LTTEය විසින් අම්පාර ගෝනගල ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් 57 මරා දැමීම පදනම් කොටගෙන සකසන ලද මෙම චිත්‍රපටිය ඇසින් දුටුවන්ගේ හෘද සාක්‍ෂිය ලෙස නම් කර ඇත.
ස්තූතියි නැවත එන්න චිත්‍රපටිය හැර අනෙකුත් චිත්‍රපටි සිංහල දෙමළ ප්‍රජාව අතර වන ගැටුම රොමැන්තික කරමින් ජාතිකවාදී ප්‍රවේශයක් දරා සිටී. යුද්ධයෙහි ප්‍රතිවිපාක පිළිබඳ ගාමනී හා ඉර හඳ යට චිත්‍රපටි දෙකම දක්වා තිබුණ ද එහි දමිළ ප්‍රජාවට සිදු වූ බලපෑම පිළිබඳ තැකීමක් නොකරන අතර අතර සිංහල ප්‍රජාවගේ විඳවීම් වලට ප්‍රමුඛස්ථානයක් දී ඇත. ඒ අතර සිංහාවලෝකනය ප්‍රථම ක්‍රිකට් චිත්‍රපටිය ලෙස ස්ථානගත කරමින් සිංහල බෞද්ධ ජාතිකවාදය පෙරට ගෙන එයි.

මෙහෙවර අසාර්ථක වීම

මේ ආකාරයට සිංහල බෞද්ධ ජාතිකවාදය සහ පුරුෂාධිපත්‍ය ඉතිහාසයක අධිපතිවාදී මතකය ගොඩනැංවීම පිළිබඳ මෙම චිත්‍රපටි නිරූපණය කරයි. මෙවැනි සන්දර්භයක ප්‍රතිසන්ධානය සඳහා සිනමාවට ඇති හැකියාව විසුරුවා හැරේ. ලෙඩරාච්ගේ අදහසකට අනුව අප අපගේ හතුරා හදවතින් සහ යුද්ධයෙන් නිර්මාණය කරන විට, අප අනෙකාගෙන් වෙන්කොට අනෙකාට අපව උසස් ලෙස දක්වමින් සහ අනෙකා අමානුෂික කරවමින් අනෙකා දකින විට ප්‍රතිසන්ධානගතවීම අසාර්ථක වේ. මෙම චිත්‍රපටි ප්‍රජාවට සිය අනෙකාගේ විඳවීම් ඇසීමට සළස්වන පොදු බිමක් හදනවා වෙනුවට ප්‍රජාව අතර දුරස්ථභාවය තවදුරටත් දියුණු කරයි. මෙය 1980 දී වියට්නාමයට එරෙහිව ඇමරිකාව සිදුකළ යුද්ධය හොලිවුඩය නිරූපණය කළ ආකාරයට සමාන කර දැක්විය හැකිය. Grainge තර්ක කරන ලෙසට හොලිවුඩය විශේෂිත වූ තවත් සත්‍යයේ රෙජීමයක් නිපදවී ය.

ලෙඩරාච් දක්වන ලෙසට ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඍජුව ගැටුම්කාරී පුද්ගලයෙකු හා සම්බන්ධව විසඳුමක් සෙවීමට මුලික වේ. එසේම විනිවිද භාවයට හා වගවීමට අදාලව විශාල පිරිසකගේ සහභාගීත්වය ලබා ගනී. විශේෂයෙන්ම අනෙක් පාර්ශවය සමඟ සම්බන්ධතාව පවත්වාගෙන යාමට අපහසු තත්ත්වයකදී පවා කටයුතු කළ හැකි අවකාශයක් නිර්මාණය කර ගැනීම සඳහා සම්බන්ධ වීමකි. ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ සිනමාව ගැටුම්කාරී ප්‍රජාවන් අතර ඇති වෙනස්කම් අඩු කිරීමේ අරමුණින් සම්බන්ධ වනවාට වඩා ඔවුන් අතර පරතරය පුඑල් කරයි. එසේම ඒවා ප්‍රජාවන් දෙකම නියෝජනය කරන පුළුල් මිනිස් කණ්ඩායමක් සමඟද සම්බන්ධ නොවේ.

මේ අනුව පශ්චාත් යුධ ශ්‍රී ලාංකික සිනමාව ප්‍රතිසන්ධාන කාර්ය සමග නොගැලපෙන භූමිකාවක් නිරූපණය කරයි. එය උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ දක්වා ඇති උසස් අරමුණු වලක්වන අතර, සිංහල සහ දෙමළ ප්‍රජාව අතර බිඳුනු සබඳතා සුවපත් කිරීමට සහ නැවත ස්ථාපිත කිරීමට මෙ මගින් කිසිදු උත්සහයක් නොකරයි. මෙය තවදුරටත් ලංකාවේ විකල්ප සිනමාවක අවශ්‍යතාවය එනම්, යුක්තිය, සත්‍යය සහ සහජීවනය නගා සිටුවීමට කැපවන සිනමාවක අවශ්‍යතාවය මතුකරයි.

දිනිදු කරැණානායක සහ ත්‍යාගරාජා වරදාස්[Dinidu Karunanayake and Thiyagaraja Waradas] විසිනි

[මෙම ලියවිල්ල ජනවාර්ගික අධ්‍යනය සදහා ජාත්‍යන්තර කේන්ද්‍රය[ICES] විසින් ආරම්භ කරන ලද ලිපි මාලාවක එක් කොටසකි. මෙහි ඇතුලත් අදහස් කතුවරයාගේ අදහස් මිස අත්‍යවශයෙන්ම ජනවාර්ගික අධ්‍යනය සදහා ජාත්‍යන්තර කේන්ද්‍රයේ[ICES] හි මතය නියෝජනය කරන ඒවා නොවේ.]

පරිශීලන ග්‍රන්ථ

“Concern of His Excellency the President”. <http://www.llrc.lk/> Accessed on 14 Oct 2011.
Lederach, John Paul. “Book Summary of The Journey Towards Reconciliation”. <http://www.crinfo.org/booksummary/10739/> Accessed on 9 Oct 2011.

“Matha- A Film on the Sri Lankan Conflict.” <http://www.defence.lk/new.asp?fname=20091009_12> Accessed on 9 Oct 2011.

Thanissaro Bhikkhu. “Reconciliation, Right & Wrong”. Access to Insight, 18 July 2011. <http://www.accesstoinsight.org/lib/authors/thanissaro/reconciliation.html> Accessed on 17 October 2011.