[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]
මෙම සටහන ලියැවෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ජාවට ගැනීමට පැය ගණනාවක් තිබියදී ය. මෙම ලිපිය ප්‍රචාරය වන විට ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ වැඩි ජන්දයෙන් සම්මත වී තිබෙනු නොඅනුමාන ය. නිදහස් ශ්‍රී ලංකාව අන්තර් ජාතික තලයෙහි ලද මහත්ම පරාජය ලෙස මෙම යෝජනාව සටහන් වනු ඇත.
දැන් ශ්‍රී ලංකාව මෙතැනින් කොතැනට ද කියා ඇසීම පසුවට තබා ශ්‍රී ලංකාව මෙතැනට පැමිණියේ කෙසේද යන්න දෙස ආපසු හැරී බැලීම වැදගත් ය. මෙවැනි යෝජනාවක් ගෙන එන බවට ඇමෙරිකා එක්සත් ජනපදය කොළඹදී ප්‍රකාශ කළ දිනයේ සිට ඒ පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ ජන්ද විමසීම පැවැත්වෙන 2012 මාර්තු 22 දින දක්වා ශ්‍රී ලංකාණ්ඩුව කටයුතු කළේ ලනුව කඩා ගත් නාම්බෙකු ලෙස ය. කෙටියෙන් කියන්නේ නම් එය රාජ්‍ය තාන්ත්‍රික බව වෙනුවට හැඟීම් අවුස්සන ප්රචාරකවාදී දේශපාලනයක් ද දැනුවත් සාකච්ජාව වෙනුවට බලහත්කාරය මගින් අනෙක් අදහස් යටපත් කිරිම ද සිය පිළිවෙත බවට පත් කර ගත්තේ ය.
ශ්‍රී ලංකාවෙහි දී කොළඹ විදේශීය තානාපති කාර්යාල වැටලීමට උන්මාදයට පත්කරන ලද පිරිස් උසි ගැන්වීමත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත සිය ගනන් පිරිස් එවමින් එහිදී ද අනෙක් අදහස් යටපත් කිරීමට බලහත්කාරය යොදා ගැනීමත් මෙම අදූරදර්ශී පිළිවෙතෙහි උච්චාවස්ථාව බවට පත් විය. ආණ්ඩුවේ සිංහල ස්වෝත්තමවාදී මතවාදයේ එක් ප්‍රධානියකු වන ගුණදාස අමරසේකර ඉන්දීය අගමැති මන් මෝහන් සිං ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ නියෝජිතයකු යැයි නම් කිරීමත් රජයේ ඇමැතිවරුන් ගේ සහාය ඇතිව ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ පඹයකු පිළිස්සීමත් මෙම උන්මාදයේ නපූරු ළකුනු බවට පත්ව තිබේ.
ශ්‍රි ලංකාණ්ඩුව විසින් සිය නියෝජිත පිරිස් ලෙස දක්වා සියයකට අධික පිරිසක් වරින් වර මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන එන ලදී. ආණ්ඩුවේ දේශපාලනඥයින් හැරුණ විට මෙම පිරිස් අතර පුවත්පත් කතුවරුන්, නීතිවේදීන්, ජනමාධ්‍යවේදීන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් සහ විදේශගත ශ්‍රී ලංකිකයින් ද විය. ඒ අතර වූ සමහර පිරිස් සිය මර්ධනකාරී හැසිරීම් විසින් ශ්‍රී ලංකාණ්ඩුව පත්වනු ඇති අසීරුතාවය නොසළකා විරුද්ධවාදීන් මැඩලීමට ආ බලකායක් ලෙස තමන් සළකා ගත් බවක් පෙනෙන්නට තිබුණි. බොහෝ විට එවැනි පිරිස් මෙහි එවා තිබුණේ ම එම කඩාකප්පල්කාරී ක්‍රියා වෙනුවෙන් විය යුතු ය.
ශ්‍රි ලංකා රජය නියෝජනය කරමින් කවුන්සිලයෙහි පැවැති සමාන්තර රුස්වීම්හිදි සභාකැතයින් ලෙස හැසිරුණු එකී පුද්ගලයින් විසින් වත්මන් ශ්‍රී ලංකාවෙහි පවත්නා මර්ධනකාරි තත්ත්වය මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන එන ලදී. ඇත්ත වශයෙන්ම නම් අවසාන සතියෙහි දී ශ්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිත පිරිස් විසින් කවුන්සිලය තුළ ඇති කරන ලද්දේ භීෂනකාරී තත්ත්වයකි.
ඉන් එක් උදාහරණයක් වූයේ මාර්තු 19වන දින අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන ගණනාවක් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව පවත්වන ලද සමාන්තර රුස්වීමයි. මෙම රුස්වීමට ලංකාණ්ඩුවේ නියෝජිතයෝ 15 දෙනෙකු පමණ පැමිණි සිටියහ. එසේ පැමිණි අයතුරෙන් කිහිප දෙනෙකුගේ එකම අභිප්‍රාය වී තිබුණේ රැස්වීමේ අදහස් ඉදිරිපත් කළ කථිකයන්ට දිගින් දිගටම බාධා කිරීම යි. ඔවුන්ගේ ලොම් දැහැගැන්වී තිබූ අතර කඩහඬ බියකරුවී තිබුණි.
මෙම රුස්වීම සංවිධානය කළ අන්තර් ජාතික සංවිධාන හතර එක්ව තවත් සංවිධාන හතරක් ද එක් කර ගනිමින් එය අවසන් වූ වහාම කවුන්සිලයේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියට සහ කවුන්සිලයේ සභාපතිනියට ලිපියක් යවමින් මෙසේ කියා සිටියේ ය:
‛‛පසුගිය 19වන දින අප විසින් පවත්වන ලද සමාන්තර රුස්වීමට පැමිණි ශ්‍රී ලංකාණ්ඩුවේ නියෝජිතයින් විසින් අප රැස්වීම පවත්වා ගෙන යාමට නොහැකි වන පරිදි දිගින් දිගටම බාධා කරන්නට විය. කථිකයින් ලෙස රැස්වීමට සහභාගි වූ ශ්‍රී ලාංකික මානව හිමිකම් ආරක්ෂකයින් දෙදෙනා ඉල්ල කරගනිමින් ඔව්හු දිගින් දිගටම විරුද්ධවාදී ප්‍රශ්ණ ඇසූහ. අවශ්‍ය වුවහොත් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීම පිණිස රැස්වීමේ සම්පූර්ණ හඬ පටිය අප සතුව තිබේ.
‛‛එපමණක් නොව මාර්තු 05වන දින මෙැවනි බිය ගැන්වීම් අරභයා ගරු සභාපතිනිය විසින් කරන ලද ප්‍රකාශය නොසළකා මාර්තු 18 සහ 19 යන දෙදින තුල ශ්‍රී ලාංකික මානව හිමිකම් ආරක්ෂයින් පිටුපස එකී පිරිස් දිගින් දිගටම ගැවසුනහ.
‛‛එක්සත් ජාතීන්ගේ ජිනීවා මුලස්ථානය වන පැලේ ඩි නැසියොන් හිදී දක්නට ලැබුණු මේ බරපතල හැසිරීම ශ්‍රී ලංකාවෙහි දී මානව හිමික්ම ආරක්ෂකයිනට මුහුණ දීමට සිදුවන භයානක තත්ත්වයේ පිළිබිඹුවකි. එබැවින්ම එක්සත් ජාතීන්ගේ මූලස්ථානය තුළ සිදුවූ මෙම සිදුවීම් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු. ’’
19 වන දින එම රැස්වීම අවසන් වූ වහාම එහි අදහස් දැක්වූ ශ්‍රී ලාංකික මානව හිමිකම් ආරක්ෂකයන් වට කර ගත් ආණ්ඩුවේ නියෝජිතයෝ වධහිංසා පමුණුවන ලෙසින් ප්‍රශ්ණ ඇසීමට පටන් ගත්හ. මෙම පිරිස් සිතා සිටියේ මානව හිමිකම් කවුන්සිලය තුලත් කොළඹදී මෙන් තගරිය දමා විරුද්ධවාදී අදහස් දරන පිරිස් බිය ගැන්වීමට ය. ඉන් එක් අයකු ආපහු ලංකාවට යන්නේ කවදාදැයි සන්ධ්‍යා එක්නැළිගොඩගෙන් ඇසුවේ ‛එදාට බලා ගමු’ කීමට මෙන් ය. එක් ඇමැතිවරයකු පවා බිය ගන්වන විලාසයෙන් රැස්වීමෙන් පසු යම් යම් ප්‍රකාශ කර තිබුණි.
ශ්‍රී ලාංකික මානව හිමිකම් ආරක්ෂිකාවක වූ සන්ධ්‍යා එක්නැළිගොඩ ද මෙම රැස්වීමෙහි අදහස් දැක්වූවා ය. ශ්‍රි ලංකාණ්ඩුවේ නියෝජිතයකු වූ එංගලන්තයේ සිංහල සංගමයේ සභාපති ඩග්ලස් වික්‍රමරත්න ඇයගෙන් ඇසූ ප්‍රශ්ණය වූයේ එංගලන්තයේ ළමයි 84,000 නැති වෙළා කියෙනවා, ඒවටත් එංගලන්ත ආණ්ඩුව වග කියන්න ඕනෙද කියා ය. ඔහු මෙම ප්‍රශ්ණය දින කිහිපයකට පෙරදීත් ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම් ගැන වෙනත් රැස්වීමකදී ද අසා හොඳ ටොක්කක් කෑවේ ය. අනතුරුව ඔහු ප්‍රකාශයක් කරමින් කීයේ සන්ධ්‍යා සිනහ වෙමින් හොඳින් කතා බහ කරමින් සිටිනු තමා දුටු බවත් සිය සැමියා අතුරුදහන් වීමෙන් පසු එළෙස සිටිය හැකිද යන්න තමාට ප්‍රශ්ණයක් බවය. මෙම පුද්ගලයාම වෙනත් තවත් සමාන්තර රැස්වීමකදී යාපනයේ පාරවල සිංහලෙන් පමණක් නම් ලියා ඇති බව පෙන්වා දුන් විට මෙසේ කීවේ ය: ‛‛එංගලන්තයේ තියෙන්නේ එක භාෂාවයි. ඉන් ලංකාවට භාෂා දෙකක් මොකටද’’ කියා ය.
ශ්‍රී ලංකාණ්ඩුව නියෝජනය කිරීමට මුදල් වැය කර ගෙන්වා තිබුණේ එය ජාතියේ වර්ගවාදී සහ අසංවේ දී පිරිස් ය.
ශ්‍රී ලංකාණ්ඩුවේ තවත් නියෝජිතයකු ලෙස පැමිණි ආරක්ෂ ජනමාධ්‍යවේදියකු ශ්‍රී ලංකාණ්ඩුව පැවැත්වූ සමාන්තර රැස්වීමෙහි දී අනවසරයෙන් ජායාරූප ගෙන බොරු වාර්තා පළ කිරීම සම්බන්ධයෙන් තවත් පැමිණිල්ලක් කවුන්සිලය වෙත දැන් ඉදිරිපත්ව තිබේ. ජායාරූපයක් ද පළ කරමින් ඔහු ලියා තිබුණේ ජායාරුප ගැනීමට ඉඩ නොදී මුහුණ වසා ගත් කාන්තාව ජිනීවා නුවරට පැන ගිය ද්‍රෝහියකුගේ බිරිද බව ය. එම ජායාරූපයෙන් ඇය හඳුනා ගත හැකි බැවින් ද මෙම වාර්තාව සම්පූර්ණ අසත්‍යක් බැවින් ද මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ. කවුන්සිලයේ සිදුවීම් විකෘතිකරමින් ශ්‍රී ලංකාණ්ඩුවේ මෙම නියෝජිතයා විසින් ලියන ලද තවත් වාර්තා ද මෙම පැමිණිල්ලට සම්බන්ධ ය.
අවසාන සතිය වන විට බොහෝ තානාපති අංශ මෙම මර්ධනකාරි නව වර්ධනය ගැන දැනුවත් වී මහත් කණස්සල්ලට පත්ව සිටියහ. මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසයෙහි කිසි දිනෙක මෙළෙස මානව හිමිකම් ආරක්ෂකයින් බිය ගන්වනසුළු වට පිටාවක් ඇති වී නැත. ශ්‍රි ලංකාණ්ඩුව සම්බන්ධයෙන් හිතවාදී ස්ථාවරයක සිටි නොබැඳි සමුළුවට අයත් රටවල් තානාපතිවරුන් අතර පවා මෙම වර්ධනය පිළිබද ඇතිව තිබුනේ අසතුටක් සහ නිෂේධාත්මක හැඟීමකි. මානව හිමිකම් කවුන්සිලය තුළ දී පවා ශ්‍රී ලාංකික මානව හිමිකම් ආරක්ෂකයින් මෙවැනි බිය ගන්වන සුළු වට පිටාවකට මුහුණ දෙන්නේ නම් රට තුළ තත්ත්වය කෙබඳු විය හැකිදැයි යන්න තේරුම් කිරීම දුෂ්කර වූයේ නැත.
රාජ්‍යතාන්ත්‍රික බව සහ දැනුවත් සංවාදය මඟින් සිය මතය ඉදිරියට ගෙන ඒම වෙනුවට ශ්‍රී ලංකාණ්ඩුව ගෙන ගිය අත්තනෝමතිකත්වයේ සහ බලහත්කාරයේ දේශපාලනය විසින් මානව හිමිකම් කවුන්සිලයෙහි සිටි එහි මිතුරන් අතර පවා තැති ගැන්මක් ඇති කරවන ලදී. ඊට අමතරව එක පිට එක සමාන්තර රැස්වීම් පවත්වමින් අධික වියදම් සහිත දිවා භෝජන සංග්‍රහ පිළිගන්වමින් අතොරක් නැතිව කරගෙන ගිය මත ගොඩ නැගීමේ බුල්ඩොසර් පිළිවෙත විසින් ද ඇති කරන ලද්දේ ඇයි මේ තරම් ප්‍රචාරයක් යන ප්‍රශ්ණයයි.
ඇත්ත වශයෙන්ම නම් ශ්‍රී ලංකාණ්ඩුව කෝටි ප්‍රකෝටි ගණනින් වැය කරමින් සිය ගණන් ජිනීවා කරා ගෙන එමින් ඇද ගෙන නෑවේ ය.
එසේ වතුදු ශ්‍රී ලංකාණ්ඩුව විසින් මෙම යෝජනාවට එරෙහිව විදි කරා ගෙන්වන ලද අන්තවාදී බලවේග මෙතැනින් නොනවතිනු ඇත. යහ පාලනයට පමණක් නොව දෙමළ ජනතාවට සමාන අයිතින් ලබා දීමට එරෙහි බලවේගයක් ලෙස ඉදිරියෙහි දී රාජපක්ෂ ආණ්ඩුව විසින් යොදා ගැනෙනු ඇත්තේ මෙම බලවේගයන්ම ය. එබැවින් ශ්‍රී ලංකාණ්ඩුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරන ලද මෙම යෝජනාව සහ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ පාදක කර ගනිමින් සිංහල ජනයා අතර දැනුවත් බාවයක් ගොඩ නැගීමේ වගකීම අප මුහණ දෙන අභියෝගය බවට පත්ව තිබේ.
සුනන්ද දේශප්‍රිය[Sunanda Deshapriya]