අතුරුදහන් වූවන්ගේ ඥාතීහු, අතුරුදහන් වූ තම ආදරණීයයන් නැවත ගෙදර එනතුරු බලා සිටිති. ඔවුන් තම ජීවිතයේ සෑම මිනිත්තුවක්ම ගතකරමින් සිටින්නේ විශ්වාසය සහ තමාට අහිමි වූ තම ආදරණීයයන්ගේ මතකය සමඟිනි. නොයෙකුත් කරදර, බාධක මැද තම ආදරණීයන් සිහිපත් කරමින්, ඔවුන් පාවිච්චිකළ බඩු බාහිරාදිය ආරක්ෂා කර ගනිමින්, ඔවුන් ඇසුරු කරමින්, ඔවුන් සමඟ ජීවත් වීමට ඔවුහු උත්සහා කරමින් සිටිති. මෙම වෙබ් අන්තර්ගතය, එම ආරක්ෂා කරගත් නොයෙකුත් දේ සහ ඒවා පිටුපස ඇති අති-සංවේදී තත්ත්වයන් සමඟ නිර්මාණය කරන ලද අනුස්මරණයකි.
ආදරණීයන්ගේ මතකයන්
-
මේ පින්තූරය දකින හැමවෙලාවකම එයා කොහේහරි ඉන්නවා කියලා මට දැනෙනවා. මම එයාව නිතරම හීනෙන් දැකලා තියෙනවා. එයා ජනෙල් බාර් එක අල්ලගෙන මගෙත් එක්ක කතා කරනවා මම හීනෙන් දැකලා තියෙනවා. මට මරණ සහතිකයක් ගන්න කිව්වා. මම එයාලට කිව්වෙත් ඔයාට කියපු දේමයි. එයා කොහේහරි ඉන්නවා. එයා මැරිලා කියලා කියන්නේ ඇයි ?
මේ පින්තූරේ ගත්තේ එයා ඕලෙවල් විභාගයට ඉගෙනගන්න කාලේ. එදා ඉස්කෝලේ උත්සවයක් තිබුණා. ඒකයි අපි පින්තූරයක් ගත්තේ. දැන් මට එයාව මතක් වෙන්න තියෙන්නේ මේ පින්තූරේ විතරයි.
මව – රඝුනාදන් රාසාති (වයස 52)
16 හැවිරිදි (1992.09.11) රඝුනාදන් ලාවන්‍යා අවතැන් වී මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ රැඳී සිටියදී අතුරුදහන් විය.
-
එයාගේ පින්තූර ගොඩක් අපි ළඟ තිබුණා, ඒත් අපි අවතැන් වෙනකොට ඒ හැමදේම විනාශ වුණා. පින්තූරවල නෙගටිව් අපේ ලියකියවිලි දාලා තිබුණ බෑග් එකක තිබුණේ. අපි මේ ඇල්බම් එක හැදුවේ ඒ නෙගටිව්වලින් හදපු පින්තූරවලින්. මම මැණික් ෆාම් කඳවුරෙන් එළියට ආපු ගමන් ඒ පින්තූර ටික හදාගත්තා. ස්ටුඩියෝ එකෙන් කිව්වා ඒ ඔක්කොම පින්තූර හදන්න බැහැ කියලා. මම හිතන්නේ ඒ 2010, මම වව්නියාවට යන්න කඳවුරෙන් අවසරපත්‍රයක් ගත්තා. ඒ කාලේ එක පින්තූරයක් හදන්න රුපියල් 15ක් ගත්තා. මම මේ ඇල්බම් එක හැදුවේ ඒ පින්තූරවලින්. මට එයාව මතක් වෙන්න තියෙන දේ මේක තමයි.
මව – මුරලිදරන් මල්ලිකා (වයස 46)
දියණිය මුරලිදරන් දිස්යාට එවක වයස අවුරුදු 13ක් පමණ විය. ඇය 2009 වසරේ මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ රැඳී සිටියදී අතුරුදහන් විය. ඇය ඇගේ පවුල සමඟ අවතැන් වී සිටි ජනතාව සමඟ ගමන් කරමින් සිටියාය. ඇය කොහේ ගියාදැයි ඇගේ මව දන්නේ නැත. මල්ලිකා පවසන්නේ ඔවුන් තවමත් ඇයව සොයමින් සිටින බවයි.
-
මේක තමයි මගේ අයියා එයාට වයස 15 ඉඳලා ඇඳපු සරම. එයා දාලා ගිහින් තිබුණ ඇඳුම්වලින් අපිට ගන්න පුළුවන් වුණේ මේක විතරයි. අපි අවතැන් වෙලා ඉන්නකොට මම පොරවාගත්තේ මේක. මට එතකොට අවුරුදු 7 යි. මම සමහර වෙලාවල මේක ඇන්දා. ඒ නිසා මේක පරිස්සම් කරගන්න මට පුළුවන් වුණා.
අයියාව මතක් වෙන්න මගේ ළඟ තියෙන එකම දේ එයාගේ ප්‍රතිඵල කොළය විතරයි. ගොඩක් ලියකියවිලි තිබුණා. හැබැයි අවතැන් වෙනකොට අපිට ඒ ඔක්කොම නැති වුණා. අන්තිම මොහොත වෙනකම් එයාගේ දිනපොතකුත් අපි තියාගෙන හිටියා. ඒත් ඒක ගේන්නත් අපිට බැරිවුණා.
බාල සහෝදරිය – සාලිනි චන්ද්රසේනන් (වයස 26)
චන්ද්රසේනන් විනෝදන් (1988) සහ චන්ද්රසේනන් විරුන්දන් (1990) මාතලන් ප්‍රදේශයේදී අතුරුදහන් වූහ. හමුදාව ඉදිරියට ගොස් සහෝදරයන් සිටි ප්‍රදේශය වට කළ බව අවතැන් වූ අය තමාට පැවසූ බව සාලිනි පැවසුවාය.
-
මම හිතන්නේ මගේ මුණුපුරා එතකොට බත් කන්න පුළුවන් වයසේ හිටියේ. ඒ කාලේ තමයි මගේ බෑණා මේ බයිසිකලය ගෙනාවේ. මගේ දුවයි, බෑණායි, මුණුපුරායි බයිසිකලයෙන් හැමතැනම ගියා. බෑණා හැමදාම ගෙදර ආවාට පස්සේ බයිසිකලය ළිඳ ළඟට ගෙනිහින් හෝදලා පිරිසිදු කරනවා. ඒ කාලේ තාර පාරවල් තිබුණේ නැහැ. ඒ නිසා එයා ගෙදර එනකොට බයිසිකලේ කුණු දූවිලි පිරිලා. එයා ගෙදරට එන්නේ බයිසිකලය හොඳට හෝදලා පිරිසිදු කළාට පස්සේ. ඒ තරම් හොඳට එයා බයිසිකලය පරිස්සම් කළා.
සිද්ධිය වෙලා දවස් දෙකක් යනකම් එයා මුකුත්ම කිව්වේ නැහැ. එයාට ඒක දරාගන්න බැරි වුණා. කෆීර් ජෙට් එකකින් බෝම්බයක් දාපු තැන එයාගේ බයිසිකලය තිබිලා තියෙන්නේ. එයාගේ බයිසිකලය අහසට විසි වෙලා බිමට වැටෙනවා එයා දැකලා තියෙනවා. දැන් මට තියෙන්නේ මේක විතරයි කියලා එයා බයිසිකලේ යතුරු පෙන්නුවා. දැන් අපිට එයාව මතක් වෙන්න තියෙන එකම දේ මේ යතුරු විතරයි.මාමා – සිවසම්බු ධර්මලිංගම් (වයස 76)
ඔහුගේ බෑනා වන සෙලම්බරම් බුවනේස්වරන් (වයස අවුරුදු 39) 2009 අප්‍රේල් 31 වැනිදා අතුරුදහන් විය.
-
මේක ගත්තේ මගේ පුතාගේ 19 වෙනි උපන් දිනයට. අපි මල්ලාවි ටවුමට ගිහින් රෙදි ගෙනත් මේක මැහුවා. එයා මේ පාටට කැමති නෑ, ඒත් එයා මට ගොඩක් කැමතියි, ඒ නිසා මම එයාට ගන්න ඕන දෙයක් එයා අඳිනවා. මම මේ පාටට කැමති නිසා ගත්තේ. එයා හරිම ආදරයෙන් ආසාවෙන් ඒක ඇන්දේ.
මව – චන්ද්රන්සිවමලර් (වයස 52)
19 හැවිරිදි චන්ද්‍රන් සංජීවන්ව අවසන් වරට දැක ඇත්තේ 2009 ජනවාරි 10 වැනිදා උඩයාර්කට්ටු ප්‍රදේශයේදී බව සිවමලර් මව පවසයි. ඕමන්ත හමුදා පාලන ප්‍රදේශය තුළ තම පුත්‍රයා සිටිනු දැක ඇති තවත් කිහිප දෙනකු සිටි බව සිවමලර් පවසයි.
-
මම එයාව නිතරම හීනෙන් දැක්කා. ඒත් පහුගිය මාස හය හතේ දැක්කේ නැහැ. ඒ වෙනකම් මම හැමවෙලේම එයාව හීනෙන් දැක්කා. එයා මට කතා කළේ අම්මම්මා කියලා. එයා පොඩි කාලේම එයාගේ දෙමව්පියෝ නැතිවුණා. එයාට වයස අවුරුදු 8 ඉඳන් එයාව බලාගත්තේ මම. එයා මාත් එක්ක අවුරුදු 12ක් හිටියා. පහුගිය අවුරුදු 14 පුරාම එයා කොහේ ඉන්නේ කියලා මම කල්පනා කර කර ඉන්නවා.
මේ පින්තූරය ගත්තේ මල්ලාවියේදී. එයාගේ අක්කා ඉන්නේ වව්නියාවේ සෙට්ටිකුලම්. එයා ළඟ මල්ලිගේ පින්තූරයක් නැති නිසා පින්තූරයක් ඉල්ලලා තිබුණා. මේ පින්තූරේ ගත්තේ එයාට දෙන්න. එයා පින්තූරේ මොනවද ලියලා, එයාගේ අක්කාට දෙන්න කියලා මට දුන්නා. දැන් මට එයාව මතක් වෙන්න තියෙන්නේ මේ පින්තූරයයි එයාගේ අත් අකුරුයි විතරයි.
නාගමනී – (මව් පාර්ශවයේ මිත්තණිය – වයස අවුරුදු 88)
2009 වසරේ මුල්ලියාවලෛ ප්‍රදේශයේදී තම මුණුපුරා අතුරුදහන් වූ බව නාගමනී මිත්තණිය පවසයි. ඇය පවසන්නේ ස්ථානය හා දිනය වැනි විස්තර ඇයට මතක නැති බවයි.
-
අපි දුවට මේ කමිසය අරන් දුන්නේ එයාට අවුරුදු 14 දී. අපි ඒක ගත්තේ ගමේ කෝවිලේ උත්සවයට. දුව ඒක මුලින්ම ඇන්දේ කෝවිලට. එයා මේ පාටට කැමති වෙලා මේක ඕනේ කිව්වා. මේක අරන් දුන්නේ එයාගේ අක්කා එයාගේ පඩියෙන්. එයා ඒක ආසාවෙන් ඇඳගෙන හැමතැනම ගියා. දුවව මතක් වෙන්න අපිට වෙන මුකුත් නැහැ. අපි ළඟ ගවුම් තුනක් තියෙනවා. මේක දුවගේ ආසම ගවුම නිසා මම ඒක තියාගෙන ඉන්නවා.
මව – නාගරාසා තවමනී (වයස 66)
නාගරාසා දර්ශිනී (15) සිය පවුල සමඟ අවතැන්ව සිටියදී අතුරුදහන් වූවාය.
-
එයා පැළ කරපු නෙල්ලි ගහක් තියෙනවා. එයා එක අත්තක් හිටෙව්වේ, දැන් ඒක ලොකු ගහක් වෙලා ගෙඩිත් තියෙනවා. එක දවසක් ඉස්කෝලෙ ඇරිලා එනකොට එයා අත්තක් අරන් ආවා. මම ඇහුවා ඒ මොකක්ද කියලා. එයා මගෙන් ඇහුවා අත්තක් පැළ කළොත් නෙල්ලි ගහක් හැදෙයිද කියලා. මම කිව්වා මම දන්නේ නැහැ කියලා. මම එයාට කිව්වා සාමාන්‍යයෙන් පොඩි පැළයක් තමයි පැළ කරන්නේ කියලා. එයා අත්ත පැළ කරලා වතුර දැම්මා. අපි පස්සේ අවතැන් වෙලා කඳවුරක හිටියේ. අපි ආපහු එනකොට එයා හිටවපු අත්ත ගහක් විදියට ලොකු වෙලා තිබුණා. අපිට දැන් එයාව මතක් වෙන්න තියෙන්නේ මේ නෙල්ලි ගහ විතරයි.
මව – කාලිමුතු අලගම්මා (වයස 63)
කාලිමුතු නාගේන්ද්‍රන් (වයස අවුරුදු 17) 2009 පෙබරවාරි 17 වනදා පච්චෛපුල්මොට්ටෛ ප්‍රදේශයේදී අතුරුදහන් වූයේය.
-
අපි මේ ළිඳ කැපුවේ අපි අවතැන් වෙන්න කලින්. මගේ මහත්තයා තමයි කිව්වේ දුවගේ අඩි සටහන තියන්න කියලා. දුව අඩි සටහන තියලා, මොනවද දෙයක් ලියලා, ගෙදරයි ළිඳයි එයාට දෙන්න ඕනේ කියලා කිව්වා. මට තවමත් දුව ඒ කියපු දේ අමතක කරන්න බැහැ. මට මතකයි මම කිව්වා ඕනේ දෙයක් ගන්න, හැමදේම ඔයාට තමයි, හැමදේම ළමයින්ට තමයි, අපි මේවා මැරෙනකොට අරන් යන්නේ නැහැල කියලා.
මව – බාලචන්ද්රම් රාධාරාණි (වයස 63)
බාලචන්ද්රම් කනදූරා (අවුරුදු 17) අවතැන්ව සිටියදී මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී අතුරුදහන් විය.
-
අපි ළඟ තියෙන්නේ එයාගේ උප්පැන්න සහතිකය විතරයි. එයාට අයිති වෙන කිසිම දෙයක් අපි ළඟ නැහැ. එයාගේ ෆොටෝ ඇල්බම් එක, ඇඳුම් අපි ළඟ තිබුණා. අන්තිම මොහොතේ අපිට ඒවා නැති වුණා. අපිට බේරගන්න පුළුවන් වුණේ මේක විතරයි. මම මැරෙනකම් මට එයාව අමතක වෙන්නේ නැහැ. කොහොම වුණත්, එයාව මතක් වෙන්න මගේ ළඟ මුකුත් නැහැ කියන වේදනාව මට තවම දැනෙනවා.
මව – ජගතීස්වරන් සරෝජාදේවි (වයස 62)
සරෝජාදේවි පවසන්නේ 1983 වසරේ උපන් ඇගේ පුත් කේතීස්වරන් මදන්රාජ් 2009 පෙබරවාරි මාසයේදී ඔවුන් අවතැන්වී යමින් සිටියදී සෙනඟ අතරේ අතුරුදහන් වූ බවයි.
-
එයා එක උපවාසයක්වත් මගාරින්නේ නැහැ. එයා කොහොමහරි හැම කෝවිලකටම යන්න වරද්දන්නේ නැහැ. ගෙදර තියෙන දේව රූප ඔක්කොම ගොඩක් පරණයි කියලා එයා තමයි මේ දේව රූපය ගෙනාවේ. අපි අවතැන් වෙනකම්ම එයා මේ පින්තූරයට පහන් පත්තු කළා. අපි ආපහු එනවා කියලා විශ්වාස කරපු නිසා අපි මේක අරගෙන ගියේ නැහැ. දෙවියෝ මේ දේව රූපය වේයන්ගෙන් ආරක්ෂා කරලා තිබුණා. එයා තුවාල වුණාට පස්සේ මම එයාව හමුදාවට භාර දුන්නා. ඉන් පස්සේ මට එයාව හොයාගන්න බැරි වුණා.
සැමියා – සෙල්ලන් කන්දසාමි (වයස 70)
ෂෙල් වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල ලැබූ තම බිරිඳ වන 48 හැවිරිදි කන්දසාමි විග්නේශ්වරී හමුදාවට භාර දුන් බව කන්දසාමි පවසයි. ඔහු කියා සිටින්නේ ඇය සමඟ නොසිට පිටව යන ලෙස හමුදාව තමාට පැවසූ බවයි. ඔහුගේ බිරිඳ කොහේ හෝ තැනක ජීවතුන් අතර සිටිනු ඇතැයි යන අපේක්ෂාවෙන් කන්දසාමි සහ ඔහුගේ දියණිය සියලු උද්ඝෝෂණවලට සහභාගි වෙති.
-
මට එයාව මතක් වෙන්න තියාගන්න කිසිම දෙයක් නැහැ. මගේ ළඟ පින්තූර කීපයක් තිබුණා, ඒත් අපි අවතැන් වෙනකොට මට ඒ සේරම දාලා යන්න වුණා. එයාගේ හැඳුනුම්පත මම පරිස්සමට තියාගෙන ඉන්නවා. එයා ඉගෙනගන්න යාපනයට ගිහින් ආයේ කවදාවත් ආවේ නැහැ. එයා එහේ ගියේ ඉස්කෝලේ වැඩ වගයකට. පුතා හිටපු තැන හමුදාවෙන් වට කළාලු. මොනවා වුණාද කියලා මම දන්නේ නැහැ. අපි අවතැන් වෙලා ඉන්නකොට එක පුතෙක් ෂෙල් එකක් වැදිලා මැරුණා. අනිත් පුතාත් අපි ළඟ නැහැ. මට දුවෙක් ඉන්නවා. ඒත් එයාට තනියම මුකුත් කරගන්න බැහැ. මම යන හැමතැනකම දුවව අරගෙන යන්න ඕනේ. ඒකයි මට උද්ඝෝෂණවලට යන්න විදියක් නැත්තේ. පුතා හිටියා නම් මේවා මෙහෙම වෙන්නේ නැහැ.
මව – සබාරත්නම් තිලෛනායගී (වයස – 73)
තම පුත් උමාකරන් සබාරත්නම්ව හමුදාව විසින් පැහැරගෙන ගිය බව පවසන තිලෛනායගී, තමාට උදව් කිරීමට කිසිවකු නොමැති වීම හේතුවෙන් තමන් දුෂ්කරතා මධ්‍යයේ විශේෂ අවශ්‍යතා ඇති තම දියණිය රැක බලාගන්නා බව පවසයි. තම දියණිය තනිකර දමා යා නොහැකි නිසා තම පුතාට යුක්තිය ඉල්ලා උද්ඝෝෂණවලට සහභාගි වීමට තමාට නොහැකී වී ඇති බවද ඇය පවසයි.
-
මේක එයා 9 වසරේ ඉගෙන ගන්න කාලේ ගත්ත පින්තූරයක්. අපි පින්තූර ගන්නේ විශේෂ වෙලාවක විතරයි. දැන් එහෙම විශේෂ අවස්ථා තිබුණත්, එයාගේ එකම එක පින්තූරයක්වත් අපි ළඟ නැහැ. එයාව මතක් වෙන්න තියෙන්නේ මේ පින්තූරය විතරයි. මම ඒක උද්ඝෝෂණවලට ගෙනියන්න ලොකු කළා. කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා?
මව – කුමාර චන්ද්‍රා (වයස 62)
චන්ද්‍රා පවසන්නේ තම 17 හැවිරිදි පාසල් වයසේ සිටි පුතා 2009 මැයි මාසයේදී ඔවුන් අවතැන්ව සිටියදී අතුරුදහන් වූ බවයි. ඔහු අතුරුදහන් වූ ස්ථානය ඇයට මතක නැත.
-
මේ පාස්පෝට් එක ගන්න එයාව කොළඹට යැව්වේ මම. "මෙහේ ප්‍රශ්න, මට යන්න දෙන්න මමී" කියලා එයා කිව්වා. එයා මට කතා කළේ මමී කියලා. අපි කොහොමහරි එයාගේ පාස්පෝට් එක හදාගෙන එයාව රට යැව්වා. මමයි එයාගේ තාත්තයි එයාර්පෝට් එකට ගියා එයාව ඇරලවන්න. අවුරුදු දෙකකට පස්සේ එයා මට නොකියම ආපහු ආවා. රටේ තත්වය හොඳ නැහැ කියලා අපි කිව්වා, ඒත් එයා අපි කියන දේ ඇහුවේ නැහැ. එයා ආපහු ඇවිත් තිබුණේ මට සනීප නැති නිසා. එයා වව්නියාවේ ඉන්නකොට සුදු වෑන් එකකින් ආපු මිනිස්සු කට්ටියක් එයාව පැහැරගෙන ගියා. මම දැන් මේ පාස්පෝට් එක ළඟින් තියන් ඉන්නවා. මේ පාස්පෝට් එක නිසා එයා කොහේහරි තැනක පරිස්සමට හිටියා. එයා ආපහු ආවා, අතුරුදහන් වුණා.
මව – වරදකේසරී තවමනී (වයස 74)
27 හැවිරිදි වරදකේසරී ජීවදාසන් මැදපෙරදිග රටක සේවය කර වවුනියාවට පැමිණ සිටියදී 2008 වසරේ පැහැරගෙන ගොස් ඇත.
-
එයාව මතක් වෙන්න අපි ළඟ තියෙන්නේ එකම එක පින්තූරයක් විතරයි. පින්තූර ගොඩක් තිබුණා. එයාගේ පින්තූර දැක්කොත් අම්මා ගොඩක් හැඟීම්බර වෙලා අඬන නිසා අපි ඒ සේරම පින්තූර හැංගුවා. දැන් අපි දන්නෙ නැහැ ඒ පින්තූර කොහෙද කියලා. අපි කොහොමහරි මේ පින්තූරය පරිස්සම් කරගත්තා. අපේ අයියා පල්ලියේ ගොඩක් ක්‍රියාශීලී කෙනෙක්. ඒ කාලේ කට්ටියක් හිටියා. පල්ලියේ කටයුතුවලට එයා දක්වපු දායකත්වය වෙනුවෙන් මහනුවර අපේ රදගුරුතුමා අතින් එයා උපහාරයක් ලැබුවා. මම හිතන්නේ ඒ 80 ගණන්වල මුල් කාලේ. මට හරියට කාල වකවානුව මතක නැහැ.
සොහොයුරා – කෲස්පිල්ලෙයි, වයස 62
තම වැඩිමහල් සොහොයුරා වන සන්දනම් සෙල්වනායගම් (34), 1990 වසරේදී අම්පාර ප්‍රදේශයේ රැකියාවට ගිය අවස්ථාවේදී අතුරුදහන් වූ බව කෲස්පිල්ලේ පවසයි.
-
මේ ඇඳුම තේරුවේ එයා නමේ, මම. එයාට ඕනේ මම තෝරලා එයාට දෙන්න. මේ කලිසම මැහුවේ අපි ගත්ත රෙදි කෑල්ලකින්. එයා කඩෙන් ගන්න තියෙන මහපු ඇඳුම්වලට කැමති නැහැ. එයා කැමති කලිසම් හොඳට පල්ලෙහාටම දිගට තියෙනවට. එයා කඩේ ගන්න තියෙන මහපු කමිසවලට කැමතියි. මම මේ කලිසම ගෙනාවේ විශේෂ හේතුවකට නෙමේ. එයා කම්පියුටර් පන්ති ගියා. මම මේක ගෙනාවේ එයාට පන්ති අඳින්න. මේ ඔක්කොම ඇඳුම් තිබුණ සූට්කේස් එක අපි අවතැන් වෙනකොට මම දාලා ගියා. අපි ආපහු එනකොට අපේ ගෙදර ගිනි අරන් පිච්චිලා තිබුණා. මම සූට්කේස් එක අරිනකොට මේ කලිසම මේ විදියටම නමලා තිබුණේ. ෂෙල් වෙඩිල්ලක් නිසා මේක පිච්චිලා තිබුණේ. මම මේ කලිසම හෝදලා එයාව මතක් වෙන්න තියාගෙන ඉන්නවා.
මට දුවලා හතර දෙනෙකුයි එක පුතෙකුයි ඉන්නවා. එයා මගේ එකම පුතා. එයාව ආයේ දකින්න කලින් මම මැරිලා යයි කියලා මට බයයි.
මව – තවරාසා පගිරදී (වයස 54)
තවරාසා තමිල්චෙල්වන් (වයස 17) 2009 මැයි මාසයේදී අම්බලවන්පොක්කනෛ ප්රදේශයේඩී අතුරුදහන් විය.
-
අපි ළඟ එයාව මතක් වෙන්න මුකුත් නැහැ. අපි මෙහෙන් අවතැන් වෙලා යද්දී අපි දේවල් කීපයක් විතරයි අරගෙන ගියේ. අපි එයාගේ බඩුමුට්ටු ඔක්කොම මෙතැන දාලා ගියා. අපි ආපහු එනකොට මුකුත් තිබුණේ නැහැ. එයා දැන් නැහැ. එයාව මතක් වෙන්න කිසිම දේකුත් අපි ළඟ නැහැ. අපිට වුණ එකම දේ, හැමතැනම එයාව හොයලා අපි අසනීප වුණ එක විතරයි
මව – රත්නම් කමලම්බිගෛ (වයස 74)
රත්නම් ජගතීස්වරන්ගේ (අවුරුදු 30) මව තම පුතාව අවසන් වරට දුටුවේ 2009 මාර්තු 15 වැනිදා මුල්ලිවයික්කාල්හිදීය. ඇය නැවත කිසි දිනෙක ඔහුව දුටුවේ නැත.
-
මහත්තයා තමයි දුව ලොකු ළමයෙක් වුණාම මේ කරාබු දෙක අරන් ආවේ. එයා කිලිනොච්චියට ගිහින් ඒක අරන් ආවා. අපි මෙහෙට එන්න කළින් අපිට ගොඩක් දේවල් නැතිවුණා. මට කොහොමහරි මේක පරිස්සමට අරන් එන්න පුළුවන් වුණා. අපි මේ වෙනකොට ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දීලා තියෙනවා. ඊළඟට මොනවා වෙයි කියලා බලාපොරොත්තු වෙන්නද කියලා අපිට තේරෙන්නේ නැහැ. මොනවා වුණත් මම මේක කාටවත් දෙන්නේ නැහැ. එයා තමයි දරුවෝ හත් දෙනාගෙන් වැඩිමලා. මට එයාව නැතිවුණා.
මව – චින්නයියා පූලෝගනායකී (වයස 49)
අතුරුදහන් වන විට චින්නයියා අනුසාගේ වයස අවුරුදු 18 කි. පූලෝගනායකී පවසන්නේ ඇය අතුරුදහන් වූයේ කවදාද සහ කොහේද යන්න පිළිබඳ විස්තර ඇයට මතක නැති බවයි.
-
මට එයාව මතක් වෙන්න තියෙන්නේ මේ තාලිය. අපිට ළමයි 5 ක් ඉන්නවා. එයා මගේත් එක්ක ගෙවපු ජීවිතේ මතකයන් මගේ ළඟ තියෙනවා. මට දිගටම ඒවා ගැන කතා කරන්න පුළුවන්. ඒත් මේ තාලිය මට විශේෂයි. අපි බැන්දේ 1992 ජූලි 23 වෙනිදා. අපි බැන්දේ ආදරය කරලා. අපි දෙන්නා බඳිනවාට අපේ පවුල්වලින් විරුද්ධ වුණා. අපි බැඳලා අවුරුදු 15කින් තමයි එයා තාලියක් හදලා, මම ඒක බැන්දේ. මම මේ තාලිය දැම්මේ විඩත්තල්තීව් අඩෛකාලම් මාතා පල්ලියේ පූජකතුමා ඒකට ආශිර්වාද කළාට පස්සේ 2007 දී. ඔයා දන්නවද මිනිස්සු කී දෙනෙක් මට මේ තාලිය ගළවන්න කියලා කියලා තියෙනවද කියලා ? එයාලා කියනවා එයා නැහැ, එයා ජීවතුන් අතර නම් එයා එන්න ඕනේ, මොකටද මම තාලිය දාගෙන ඉන්නේ කියලා. එයා මැරිලා ඉන්නවා අපි දැක්කේ නැහැ. එයා මැරිලා ඉන්නවා මම ඇස් දෙකෙන් දැක්කා නම් මම තාලිය ගළවනවා. මගේ ළමයි උස්මහත් කරන්න මම ගොඩක් දුක් වින්දා. ඒත් මම කවදාවත් මගේ තාලිය තියලා සල්ලි ගත්තේ නැහැ. මොකද මේ මගේ මහත්තයා.
බිරිඳ – ඇන්ටන් සුකාන්තන් අත්පුදසීලි (වයස 52)
තිස්පස් හැවිරිදි ඇන්ටන් සුකන්තන් 2008 ජූලි 04 වැනිදා මසුන් ඇල්ලීමට ගොස් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
-
මම ඉස්කෝලේ ගියේ නැන්දලාගේ ගෙදර ඉඳන්. අපි ඒ කාලේ ඉඳන් ආදරය කළා. මට 19 යි, එයාට 21 යි. අපි බැන්දා. එයාගේ පවුලයි අපේ පවුලයි නෑදෑයෝ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. චාරිත්‍රානුකූල විවාහයෙන් මාස 2කට පස්සේ අපි අපේ විවාහය ලියාපදිංචි කළා. අපිත් එක්ක රෙජිස්ට්‍රාර් කාර්යාලයට 6 දෙනෙක් ආවා. මේ තියෙන්නේ විවාහ ලියාපදිංචියේ පිටපත. පිටපත තියෙනවා, එයා නැහැ. මම පිටරට ගිහින් හිටියා. එයා අතුරුදහන් වෙනකොට මම පිටරට ගිහින් මාස හයයි. එතකොට මගේ ලොකු පුතාට අවුරුදු හයයි, පොඩි පුතාට අවුරුදු තුනයි. එයා අතුරුදහන් වෙලා කියලා මට කිව්වේ මාසෙකට පස්සේ. එයාව මටක් වෙන්න මට තියෙන්නේ මේක විතරයි. ඒක ඉරෙන්නේ නැති වෙන්න මම ඒක ලැමිනේට් කරලා තියන් ඉන්නවා.
බිරිඳ – පෙරියස්වාමි පුත්තිරන් ලෝගම්මා (වයස 44)
ලෝගම්මාගේ ස්වාමි පුරුෂයා වන කන්දසාමි ජෙගතීසන් (අවු. 38) 2008 දෙසැම්බර් මාසයේදී අතුරුදන් වූයේය.
-
එයා මේ ඇඳුම් රාක්කය හැදුවේ එයාගේ ඇඳුම් එල්ලන්න. මේ ඇඳුම් රාක්කය දැන් අවුරුදු 25ක් විතර පරණ ඇති. ඒකේ තාම පැන්සල් ඉරි තියෙනවා. අපි මේක හොයාගත්තේ අපි මැණික් ෆාම් කඳවුරෙන් ආපහු ආවට පස්සේ අපේ පරණ ගෙදර තිබිලා. ඒක දැන් කැඩිලා. ඒත් එයා ඒක ලස්සනට හැදුවා. එයා මේ වගේ වැඩ කරන්න දක්ෂයි. කවුරුත් දැන් ඒකේ ඇඳුම් එල්ලන්නේ නැහැ. එයා ආයේ එයි කියන බලාපොරොත්තුවෙන්, එයාව මතක් වෙන්න අපි මේක තියාගෙන ඉන්නවා.
බිරිඳ – සිවපුණ්යම් රාජිනි (වයස 53)
2009 මැයි මාසයේදී රාජිනි තම සැමියා (සුබ්‍රමනියම් සිවපුණ්යම් - වයස අවුරුදු 40) වට්ටුවක්කාල්හිදී හමුදාවට භාර දුන්නාය. ඇයට නිශ්චිත දිනයක් මතක නැති නමුත් ඇය සිතන අන්දමට ඒ යුද්ධයේ අවසාන දින කිහිපයයි. තවමත් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ඇය පවසයි.
-
මේ කමිසය දැක්කම හිතෙන්නේ ඒක ලොකු මිනිස්සු අඳින එකක් කියලා. ඒත් මේක මගේ පුතා අවුරුදු 16 දී ඇඳපු කමිසයක්. එයා හොඳ උස මහත කෙනෙක්. මේක ගත්තේ එයාගේ මාමාගේ මඟුල් ගෙදරට අඳින්න. ඒක එයාට ටිකක් ලොකුයි කියලා එයා කිව්වත් එයා ඒක ඇන්දා. ගෙදර හිටිය ළමයි හතරදෙනාටම එකම විදියේ ඇඳුම් ඕනේ. එහෙම නොවුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක විශේෂ උත්සවයක් නිසා මම හැමෝවම කිලිනොච්චියට එක්කන් ගිහින් ඇඳුම් අරන් දුන්නා. එයා අන්තිම මොහොත වෙනකම්ම මේක ඇන්දා. දැන් අවුරුදු 15ක්. එයා ආයේ එයි කියන බලාපොරොත්තුවෙන් තවම මේක මගේ ළඟ තියගෙන ඉන්නවා.
මව – තිරුචෙල්වම් නාගදේවි (වයස 63)
නාගදේවි පවසන්නේ තිරුචෙල්වම් අකිලන් 2009 වසරේදී ආනන්දපුරම් ප්‍රදේශයේදී අතුරුදහන් වූ බවයි.
-
මගේ පුතා දෙහිවල ඉන්න කාලේ ඉංග්‍රීසි පන්ති ගියා. මේක තමයි එයා ඒ පන්තියට ගෙනියපු පොත. එයා ඉගනීමට දක්ෂ ලමයෙක්. එයාගේ අත් අකුරු හරි ලස්සනයි. මගේ අයියාගේ දුවගේත් අත් අකුරු අපේ පුතාගේ වගේම ලස්සනයි. මේක හැර පුතාව මතක් වෙන්න වෙන මුකුත් අපි ළඟ නැහැ. පුතාව කොළඹ වැල්ලවත්තේදී පැහැරගෙන ගියා. දැන් පුතා ඉන්නේ කොහෙද කියලා අපි දන්නේ නැහැ.
මව – බාලචන්ද්‍රන් දනලක්ෂ්මි (වයස – 65)
37 හැවිරිදි බාලචන්ද්‍රන් කාණ්ඩිපන් 2007 වසරේ කොළඹ සාරි කඩයක සේවය කරමින් සිටියදී පැහැර ගැනීමට ලක්විය.
-
මේක එයාගේ 21 වෙනි උපන්දිනය දවසේ රෝස මලක් සාක්කුවේ දාගෙන ගත්ත පින්තූරයක්. අපේ කලින් ගෙදර තිබුණේ එතැන. අපි තමයි මේක සූදානම් කළේ. එයාව පින්තූර ගන්නවට එයා කැමති නැහැ, දුවලා ගිහින් හැංඟෙනවා. එයාගේ සහෝදරී එයාට දොස් කිව්වට පස්සේ තමයි මේ පින්තූරේ ගන්න එයා කැමති වුණේ. අපි මේකෙන් පස්සේ එයාගේ ඇල්බම් එකක් හැදුවා. ඒත් අවතැන් වෙනකොට අපිට ඒකත් නැතිවුණා. මේ පින්තූරේ හොයාගන්න පුළුවන් වුණේ ඒක මගේ දුවගේ බෑග් එකේ තිබුණ නිසයි.
පියා – සින්නතුරෙයි දේවරාසා (වයස 70)
දේවරාසා දයාබරන් (අවු. 23) පොක්කනෛ ප්‍රදේශයේදී අතුරුදහන් විය. ඔහුගේ පියා දේවරාසා පවසන්නේ විශාල ජනකායක් සමඟ අවතැන්ව යමින් සිටියදී තම පුතා අතුරුදහන් වූ බවයි.
-
එයා දෙවියන්ට ගොඩක් භක්තිමත්. විවාහ සහ වෙනත් උත්සව සැරසිලි කරන ව්‍යාපාරයක් එයා කරගෙන ගියේ. එයා වැඩට යන හැමවෙලේම මෙතැනට ඇවිත් කපුරු පත්තු කරලා වඳිනවා. එයා තමයි මේ කොහොඹ ගහත් පැළ කළේ. එයා අතුරුදහන් වුණාට පස්සේ අපි මෙතැන වන්දනාමාන කරන එක නැවැත්තුවා. දැන් වඳින එකේ තේරුම මොකක්ද ?
පියා – චිත්රම්බලම් රඝුනාදන් (වයස 72)
16 හැවිරිදි රගුනාදන් කව්සිගන් යුද්ධයේ අවසන් අදියරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට බලහත්කාරයෙන් බඳවා ගන්නා ලදී. කෙසේ වෙතත්, චිත්රම්බලම් රඝුනාදන් පවසන්නේ යුද්ධයේ අවසන් දිනවල හමුදා පාලන ප්‍රදේශයට ගිය පසු තම පුතා හමුදාවට භාර වන අයුරු තමා දුටු බවයි.
-
මේක තමයි එයා අන්තිමට ඇඳපු යට ඇඳුම. ඒක අඳින්නේ වයස අවුරුදු 17 ත් 18 ත් අතර අය. අපි අවතැන් වෙනකොට අපිට පුළුවන් හැමදෙයක්ම අරගෙන ගියා. අපිට එයාව මතක් වෙන්න තියෙන්නේ කමිසෙකුයි, මේ යටඇඳුමයි විතරයි. අපිට එයාත් එක්ක ආයේත් එකතු වෙන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් හැම කරදරයක්ම මැද්දේ අපි දිගටම තැනින් තැනට ගියා. ඒ වෙලාවේ කවුද හිතුවේ මේ ඇඳුම අපිට එයාව මතක් වෙන්න තියාගන්න වෙයි කියලා. ෂෙල් ප්‍රහාරයකින් මට මගේ ලොකු පුතා නැති වුණා. කොහොමහරි එයාව පරිස්සමට ගෙන්වා ගන්න මම ඒ හැම කරදරයකටම මූණ දුන්නත්, හැමදේම තේරුමක් නැති වුණා. 2010 මැයි 18 වැනිදා වීරකේසරී පත්තරේ 5 වැනි පිටුවේ ලිපියක අවතැන් වෙලා ඉන්න තවත් අය එක්ක මගේ පුතාත් ඉන්න පින්තූරයක් පළ වුණා. මම ඒකත් පරිස්සමට තියන් ඉන්නවා.
මව – ජසින්තා රාසම්මා (වයස 69)
19 හැවිරිදි රවීන්ද්‍රන් ගජන් 2009 වසරේ මාර්තු මස 06 වැනිදා අතුරුදහන් වූයේය. අවසන් වරට තම පුතාව මාතලන් රෝහලේදී දුටු බව ඇතැම් අය ඇයට පැවසූ බව ජසින්තා පවසයි.
-
මේ පින්තූරේ දකිද්දි මට හැමදෙයක්ම මතක් වෙනවා. මේ පින්තූරේ ගත්තේ මගේ මුණුපුරාගේ 1 වෙනි උපන්දිනය දවසේ. මගේ ළඟ තියෙන මගේ පුතා ඉන්න එකම පින්තූරය මේක. ඒ 2009 දෙවෙනි මාසේ වෙන්න ඕනේ. මේ ගෙදර ළඟට ෂෙල් එකක් වැටිලා එළුවෝ 11ක් මැරුණා. අපි ඉක්මණින් අපිට පුළුවන් දේවල් අරගෙන ගෙදරින් ගියා. මේක විතරයි ඉතුරු වුණේ. එයා දඟයි. එයාගේ හම අඳුරු පාට නිසා ඉස්කෝලේ, පාරේ යන හැමෝම එයාට කතා කළේ "සූලකරුප්පන්" කියලා. එයා එයාලාට ගල් ගහනවා. ඒත් 1 වසරේ ඉඳලා 10 වසර වෙනකම් පන්තියේ පළවෙනියා වුණේ එයා. මම මැරෙනකම්ම එයා කරපු දඟ වැඩ මට අමතක වෙන්නේ නැහැ. එයා කොහේ ඉන්නවාද, මොනවා කරනවාද කියලා මම දන්නේ නැහැ.
මිත්තණිය – මුරුගේසු තංගම්මා (වයස 72)
2009 වසරේ මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී මුරුගේසු කුලේන්ද්‍රන් (අවු. 22) අතුරුදහන් වූ බවත්, ඔහු අතුරුදහන් වූ දිනය හරියටම මතක නැති බවත් තංගම්මා පවසයි.
-
මේක එයාගේ ගෑනු ළමයා එයාගේ උපන්දිනයට එයාට අරන් දුන්න කමිසය. එයා ඒකට ගොඩක් කැමතියි. හැමතිස්සේම ඒක ඇන්දා. මට ඒ ගෑනු ළමයාගේ නම මතක නැහැ. ලස්සනක් නමක් ඒක. කමිසය එයාගේ ගෑනු ළමයා අරන් දුන්නේ, ඒක හොඳයිද කියලා එයා මගෙන් ඇහුවා. අම්මා ඔයාට ගන්න කමිසවලට වඩා මේ කමිසය සෑහෙන්න හොඳයි කියලා මම එයාට විහිළු කරනවා. එයා පල්ලියට යන්න ඇන්දේම මේ කමිසය. මම එයාට ගොඩක් ඇඳුම් අරන් දීලා තියෙනවා. ඒත් එයා කැමතිම මේ කමිසයට. එයාත් ඒ ගෑනු ළමයාට ගොඩක් තෑගි ගන්නවා. ලිප්ස්ටික්, මාල, කියුටෙක්ස් වගේ ඒවා එයා අරන් තියෙනවා. හැබැයි එයා කවදාවත් ඒ තෑගි ඒ ළමයාට දුන්නේ නැහැ. ඒ ඇයි කියලා මම දන්නේ නැහැ. එයා තෑගි අරගෙන තියාගෙන ඉන්නවා. මට තවම මතකයි, එයා අතුරුදහන් වුණ දවසේ ඒ ගෑනු ළමයා අපේ ගෙදර ඇවිත් හොඳටම ඇඬුවා.
මව – මැනුවෙල් උදයචන්ද්‍රා (වයස 67)
උදයචන්ද්‍රා පවසන්නේ 2008 නොවැම්බර් 11 වැනිදා ඇන්ටන් සෙනිස්ටර් පිරාඩෝ (24) නාවික හමුදාව විසින් පැහැරගෙන යනු බොහෝ දෙනා දැක ඇති බවයි. ඔහු කමිසයක් නොමැතිව තම බයිසිකලයෙන් ගොස් ඇත. "නාවික හමුදාව තමයි එයාව අරන් ගියේ. එයා යන පාරේ නාවික හමුදා මුරපොලවල් තුනක් තිබුණා. එයාලා අනිවාර්යයෙන්ම ඒ තුනම පහු කරගෙන යන්න ඕනේ. එහෙම නම් එයාලා මගේ පුතාව අරන් ගියේ කොහේද?" උදයචන්ද්‍රා පවසන්නේ තම පුතාව රැගෙන ගියේ කවුරුන්ද යන්න දැන සිටියත් තමන්ට කිසිවක් කළ නොහැකි බවයි.
-
එයා ලී ට්‍රැක්ටරයක් හදාගත්තා එයාට. එතකොට එයාට අවුරුදු 9යි. එයා මගේ කියතෙන් බුරුත ගහක් කපලා ඒක හැදුවා. එයා හරි දක්ෂයි. මේක ලස්සනට තිබුණා, දැන් මේක වේයෝ කාලා. මොනවා හරි දෙයක් එයාට කියන්න ඕනේ එක පාරයි. එකම දේ ආයේ ආයේ කියනවට එයා කැමති නැහැ. අනිත් අයට මේක නිකම්ම නිකම් ලී කෑල්ලක් විතරයි. ඒත් මට මේක එයා ගැන මතකයක්.
පියා – සේගර් (වයස 66)
23 හැවිරිදි ආනන්ද සේගර් 2009 වසරේදී මාතලන් ප්‍රදේශයේදී අතුරුදන් වූයේ ය.
-
මගේ ළඟ එයාගේ කරාබු ජෝඩුවක් තියෙනවා. මම ඒවා කවදාවත් කාටවත් කිසිම දේකට දෙන්නේ නැහැ. මම ඒක තියාගෙන ඉන්නේ එයාව මතක් වෙන්න. එයාගේ වළල්ලකුත් මගේ ළඟ තියෙනවා. හැමෝම ඒක දානවා. ඒක පරම්පරා ගාණක් තිස්සේ එක එක්කෙනා දාන නිසා මම අනිත් අයට ඒක දාන්න ඉඩ දීලා තියෙන්නේ. ඒත් මේ කරාබු දෙක ගත්තේ එයාට. මම මේක කාටවත් දෙන්නේ නැහැ. එයා ආපහු ආවම එයාටම මේක දාන්න පුළුවන්.
මව – නඩරාසලිංගම් තිලකවතී (වයස 59)
20 හැවිරිදි කවිතා නඩරාසලිංගම් 2009 මැයි 16 වැනිදා අම්බලවන්පොක්කනෛ ප්‍රදේශයේදී අතුරුදහන් විය.
-
අපි මේ මෝටර් බයිසිකලය ගත්තේ 1993 හරි 94 හරි මගේ මහත්තයාගේ ඉඩම විකුණලා. අපි ඒක ගත්තේ රුපියල් 20,000 කට. එයා අපි එක්ක ඉන්න කාලේ අපි ජීවත් වුණේ කෑම උයලා කඩවල්වලට දීලා. එයා දුර තැන්වලට ගියේ බයිසිකලයකින්. ඒ නිසා අපි මෝටර් බයිසිකලයක් ගන්න තීරණය කළා. එයා මෝටර් බයිසිකලය ගන්න ගිය මොහොත අද ඊයේ වගේ මට තාම මතකයි. දැන් මෝටර් බයිසිකලය කැඩිලා. ඒ ගැන මගේ පුතාට මතකයි. ඒක කොහොමහරි අලුත්වැඩියා කරගන්න එක තමයි එයාගේ බලාපොරොත්තුව. ඒක හොඳ තත්වයෙන් තියෙනකොට එක්කෙනෙක්ට ඒක රුපියල් 30,000 කට ගන්න ඕනේ වුණා. මගේ මහත්තයා පාවිච්චි කරපු, අපි ජීවත් වෙන්න හම්බ කරගත්ත මේ මෝටර් බයිසිකලය විකුණන්න අපිට හිත හදාගන්න බැරි වුණා.
බිරිඳ – අන්ගමුතු රුක්මණී (34)
2009 ජනවාරි 13 වන දින නාඳුනන පිරිසක් මොණරාගල පිහිටි තම නිවස වෙත පැමිණ, ප්‍රශ්න කිරීම සඳහ ඇයගේ ස්වාමි පුරුෂයා වන කත්තමුත්තු තිරුචෙල්වන් (34) රැගෙන ගිය බව රුක්මණී පවසයි.
-
එයා මේ ෆෝන් එක ගත්තේ 2007 පළවෙනි හරි දෙවෙනි හරි මාසේ. එයාට තව පොඩි ෆෝන් එකකුත් තිබුණා. ඒත් එයා මේ ෆෝන් එක ගත්තා සින්දු අහන්න. ඒ කාලේ මේ ෆෝන් එක ගණන්. එයා ඒක ගත්තේ මන්නාරමේ ටවුමෙන්. ඒ කාලේ ප්‍රසිද්ධ ෆෝන් එක Sony Ericsson. අපි එයාට සල්ලි දුන්නේ නැහැ. එයා ඒක ගත්තේ එයා හම්බ කරපු සල්ලිවලින්. එයා අතුරුදහන් වෙන්න ටිකකට කලින් එයා මේ ෆෝන් එක චාජ් වෙන්න යාළුවෙක්ගේ ගෙදර දාලා ගිහින් තිබුණා. අන්තිමට අපිට තියෙන්නේ මේ ෆෝන් එක විතරයි. පුතාගේ
යාළුවාගේ පවුලේ අය මේ ෆෝන් එක අපිට නොදුන්නා නම් පුතාව මතක් වෙන්න අපි ළඟ මුකුත් නැහැ.මව – කුමාරස්වාමි ගනේෂ්වරී (වයස 73)
2007 ජුලි 15 වැනිදා තම පුතා වන 38 හැවිරිදි කුමාරස්වාමි රත්නසිංහම් පැහැරගෙන ගිය බව ගනේශ්වරී පවසන්නීය. ඇය පවසන්නේ ඔහු තම මිතුරා සමඟ බයිසිකලයෙන් බියර් බීමට ගොස් නැවත ආපසු නොපැමිණි බවයි. ඔහු සමඟ ගිය මිතුරා ද අතුරුදහන් වූයේය.
-
අපි ගණන් කරන්න බැරි තරම් වතාවක් අවතැන් වෙලා තියෙනවා. අපි මුලින්ම යාපනයෙන් අවතැන් වෙනකොට අපි හැමදේම දාලා ගියා. අපි ආපහු එන බලාපොරොත්තුවෙන් දිගටම තැනින් තැනට ගියා. අන්තිමට අපි මුල්ලිවයික්කාල්වල හැමදේම අත්හැරලා එහා පැත්තට ගියේ ඇඳන් හිටිය ඇඳුම විතරක් පිටින්. අපේ පාස්පෝට්, හැඳුනුම්පත්, බලපත්‍ර තිබුණ සූට්කේස් එකක් තිබුණා. අපි ෂෙල් ප්‍රහාරයකින් බේරෙන්න දුවනකොට සූට්කේස් එක අත්හැරලා ගියා. මේ මගේ ලොකු පුතාගේ පින්තූරය එයාගේ යාළුවෝ එක්ක ඉන්න එකක්. මේක යාළුවෝ ඔක්කොම ඉන්න පින්තූරයක්, එයාගේ තනි පින්තූරයක් අපි ළඟ නැහැ. අපි මේ පින්තූරය ගත්තේ ඒ හැමෝම ඉන්න පින්තූරයෙන්. අපි අපේ දෙවෙනි පුතා ඉන්න පින්තූරයක් හදාගත්තෙත් එහෙමයි. අපිට ඒ දෙන්නාව මතක් වෙන්න තියෙන්නේ මේ පින්තූර දෙක විතරයි. අතුරුදහන් වුණ අපේ දුවව මතක් වෙන්න කිසිම දෙයක් අපි ළඟ නැහැ.
මව – නාගේශ්වරී (වයස 65)
විසියකුමාර් (පුතා - වයස අවුරුදු 37, 2009 මැයි 13 මාතලන් ප්‍රදේශයේදී අතුරුදහන් විය)
විස්යම්බිකා (දියණිය - වයස අවුරුදු 35)
විද්‍යාදරන් (පුතා - අවුරුදු 28, 2009 මැයි මාසයේදී මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී අතුරුදහන් විය)
-
ඒක විශේෂ දවසක් නෙමේ. අපි සාප්පු ගියාම මම මේ ටී-ෂර්ට් එක එයාට අරන් දුන්නා. එයා ඒකට ආස වෙලා ඒක අරන් දෙන්න කිව්වා. මම ඒකට එච්චර කැමති වුණේ නැහැ. ඒත් දුව අරන් දෙන්න කියපු නිසා මම ඒක අරන් දුන්නා. දැන් අපි ළඟ දුව කැමති ටී-ෂර්ට් එක තියෙනවා, ඒත් මගේ දුව මගේ ළඟ නැහැ. මම එයාව මාත් එක්ක පරිස්සමට අරන් ගියා, මට එයාව මගහැරුණේ කොහොමද කියලා මම දන්නේ නැහැ. ෂෙල් ගහනකොට කොයි පැත්තට දුවන්නද කියලා මට හිතාගන්න බැරුව ගියා. මිනිස්සු කිව්වා මගේ දුව හමුදා පාලන ප්‍රදේශයේ ඉන්නවා දැක්කා කියලා. මම හැමතැනම එයාව හෙව්වා. දැන් කොහේ යන්නද කියලා මම දන්නේ නැහැ.
මව – වේලු මේනකාදේවි (වයස 65)
වේලු දුෂ්‍යන්ති (අවු. 25) 2009 වසරේදී අතුරුදහන් විය.
-
මේක තමයි අපි අවතැන් වෙනකොට අපේ පුතා හිටවපු අඹ ගහ. අපි ආපහු එනකොට මේකේ හොඳට ගෙඩි හැදිලා තිබුණා. එයා ගස් දෙකක් හිටෙව්වා. එකක් මැරුණා. මේක තමයි එයා හැමවෙලේම කළේ. එයා හැමවෙලේම ගෙදරයි වත්තයි ලස්සනට තියාගන්න දේවල් කළා. මේ ගහෙන් ගෙදරට හානියක් වෙයි කියලා මිනිස්සු කිව්වා. මම කිව්වා පුතා හිටවපු ගහ නිසා තිබුණදෙන් කියලා. අපිට පුතාව මතක් වෙන්න තියෙන එකම දේ මේක.
මව – අරුලම්බලම් ශ්රීරංජනී (වයස – 65)
1982.10.13 වැනි දින උපන් අරුලම්බලම් ප්රභාකරන් 2009 මාර්තු 8 වැනිදා අතුරුදහන් විය.
-
අපේ දරුවාගේ සල්ලි දාන පර්ස් එක අපි ළඟ තියෙනවා. එයා අත්සන් කරපු පොතකුත් තියෙනවා. මම එයාව මතක් වෙන්න එයාගේ අත්සන පොතෙන් ඉරලා අරගෙන ඒ පර්ස් එකේ දාලා තියාගෙන ඉන්නවා. මේ පර්ස් එක එයාට අරන් දුන්නේ මම. එයා මේ පාටට කැමතියි කිව්වා, ඉතින් මම කිලිනොච්චියෙන් මේක ගත්තා. මම ඉස්සර කිලිනොච්චි ගියා ක්ලිනික් එකට. එතකොට තමයි මම පුතාවත් එක්කන් ගිහින් මේක ගත්තේ. මේක තමයි එයා අන්තිමටම තියාගන්න කියලා මට දුන්න දේ.
පියා – චින්නයියා රාමසාමි (වයස 59)
18 හැවිරිදි රාමසාමි කුලේන්ද්‍රන් 2009 පෙබරවාරි 18 වැනිදා දේවිපුරම් ප්‍රදේශයේදී අතුරුදහන් විය.
-
ඒ 2001 වෙන්න ඕනේ, මම ඒ කාලේ පිටරට හිටියේ. එයා සම් පටියක් තියෙන ඔරලෝසුවක් ගන්නකොට මම මෙහෙ හිටියා. එයා මට ඒක පෙන්නුවේ මම ගෙදර ආවාට පස්සේ. එයා ටිකක් තද නීතිකාරයෙක්. එයා නිරපරාදේ සල්ලි වියදම් කරන්නේ නැහැ. ඒ නිසා අපි කවදාවත් එයාගෙන් මුකුත් ඉල්ලන්නේ නැහැ. එයා මඟුල් ගෙවල්, උත්සව වගේ විශේෂ අවස්ථාවලදී බැන්දේ මේ පරණ ඔරලෝසුව. ඒකයි එයා මේ රත්තරන් පාට ඔරලෝසුව අරගෙන තිබුණේ. එයා කිව්වා ඒක ගණන් කියලා. ඒත් ඒක කීයද කියලා එයා කිව්වේ නැහැ. මමත් එයාගෙන් ඇහුවේ නැහැ. කොහොමහරි, එයා ටවුන් එකට යනකොට බැඳගෙන ගියේ මේ හම් පටියක් තියෙන ඔරලෝසුව.
බිරිඳ – ෂන්මුගම් වසන්තකුමාරි (වයස 44)
2008 ජුනි 15 වැනිදා 34 හැවිරිදි කන්දසාමි රාමක්‍රිෂ්ණන් අතුරුදහන් වූයේය. රාමක්‍රිෂ්ණන් අතුරුදහන් වූයේ මොණරාගල නගරයේදී යම් පුද්ගලයෙක් ඔහුගේ ත්‍රිරෝද රථයට ගොඩවීමෙන් පසුව බව වසන්තකුමාරි පවසයි. පොලිසියට හමුවූයේ ත්‍රිරෝද රථය පමණක් බව ඇය පැවසුවාය.
-
අපි එයාගේ බඩුමුට්ටු ඔක්කොම මෙතැන දාලා ගියා. අපි ගෙදරින් පිටත් වුණේ ඇඳගෙන හිටිය ඇඳුම් පිටින්. දෙපැත්තෙන් ගහගන්නකොටත් එයා බංකරේ ඇතුළේ හිටියේ. ඒ වෙලාවේ අපි පාවිච්චි කරපු කිසිම දෙයක් අපි ළඟ නැහැ. අපි ළඟ තියෙන්නේ ඇල්බම් එකක් විතරයි. අපි වට්ටුවාක්කල් පහු කරලා එනකොට සූට්කේස් එකක් බේරගන්න පුළුවන් වුණා. ඇල්බම් එක තිබුණේ සූට්කේස් එක ඇතුළේ. අපිට එයාව මතක් වෙන්න තියෙන එක දේ මේ ඇල්බම් එක විතරයි.
මේ පින්තූරය එයා තැඹිළි කඩන්න ගිහින් වැටිලා තුවාල වුණාට පස්සේ ගත්ත එකක්. එයා කාටවත් බය නැති හරිම ධෛර්යවන්ත ළමයෙක්. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එයා තමයි මුලින්ම එතැනට එන කෙනා. ඒ ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. ඉවර වුණ දේ ඉවරයි.
පියා – වල්ලිපුරම් ජයවීරසිංහම් (වයස 58)
8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ජයවීරංගම් හින්දුජන් සිසුවා වට්ටුවාකල් ප්‍රදේශයේදී අතුරුදහන් විය.
-
එයා තමයි බැංකුවට ගිහින් ගිණුමක් හැදුවේ. එයා ගිණුම විවෘත කළේ රුපියල් 1000/- ක් දාලා. මට මතක නැහැ ගෙවල් හදන ව්‍යාපෘතියකටද කියලා, එයාලා මේ ගිණුමට රුපියල් 25,000/-ක් දැම්මා. මම හිතන්නේ ඒක ආණ්ඩුවෙන් දැම්මේ. අපිත් අපේ ළඟ තිබුණ සල්ලි ඒකට දැම්මා. අපි හදිසි වෙලාවල ඒකෙන් සල්ලිත් ගත්තා. දැන් නම් ගිණුමේ ඒ තරම් සල්ලි නැහැ. රුපියල් 1000/-ක් 2000/-ක් වගේ ඇති. අපි එයාව මතක් වෙන්න ගිණුම තියාගෙන ඉන්නවා. එයාගේ අත්සන තියෙන වෙන කිසිම ලියවිල්ලක් අපි ළඟ නැහැ. මේක විතරමයි. එයාගේ අත් අකුරු තියෙන වෙන මුකුත් අපි ළඟ නැහැ. ඒක නිසා මම මේක පරිස්සම් කරනවා.
බිරිඳ – සචිතානන්දම් පද්මරංජනී (වයස 46)
හිටපු එල්.ටී.ටී.ඊ. සටන්කාමී සචිතානන්දම් ඔහුගේ බිරිඳ පද්මරංජනී සහ දරු දෙදෙනා ඉදිරියේ හමුදාවට භාර වූයේය.
-
එයා ඉගෙනගත්තේ ගොඩක් අමාරුකම් මැද. එයා යාපනය විශ්වවිද්‍යාලයට තේරුණා. ඉගනීම ඉවර වුණාට පස්සේ එයා මෙහෙ ඇවිත් තාවකාලිකව ගුරුවරියක් විදියට වැඩ කළා. අපි යැපුණේ එයාගෙන්. එයා අවතැන් වෙනකොට හිටියේ එයාගේ නෑයොත් එක්ක. ඒත් එයා මැණික් ෆාම් කඳවුරට ආවේ නැහැ. අපි දන්නේ නැහැ මොකද වුණේ කියලා. විශ්වවිද්‍යාල උපාධියේ පින්තූරයකුයි, එයාගේ කමිසයකුයි, ඇඳ ඇතිරිල්ලකුයි එයාගේ නංගිට ලැබුණා. ඉතුරු වෙලා තියෙන්නේ මෙච්චරයි.
මගේ මහත්තයා යුද්ධෙන් තුවාල වුණාට පස්සේ මම පුල්මෝට්ටෛ ගියා. එයාලා මගේ මහත්තයාට බෙහෙත් කරනවා කියලා මාව ආපහු එව්වා. මට එයාත් එක්ක යන්න එයාලා ඉඩ දුන්නේ නැහැ. මගේ මහත්තයාත් ආයේ ගෙදර ආවේ නැහැ..
මව – චන්ද්‍රසේකරන් පද්මාවතී (වයස 62)
පද්මාවතී පවසන්නේ තම 28 හැවිරිදි දියණිය වන චන්ද්‍රසේකරන් ප්රොමිනා (28) අවතැන් වීමෙන් පසු නිරුපද්‍රිතව හමුදා පාලන ප්‍රදේශයට ළඟා වී ඇතැයි තමන් බලාපොරොත්තු වූ බවයි. සියලුම තාවකාලික කඳවුරු වෙත දිගින් දිගටම යන බවත්, අද වනතුරු තම දෙපා විවේක ගෙන නොමැති බවත් ඇය පවසයි.
-
මේ සහතිකය විතරයි එයාව මතක් වෙන්න අපි ළඟ තියෙන එකම දේ. එතකොට එයාට යන්තම් අවුරුදු 17යි, ඒ කාලේ එයා ඉස්කෝලේ යනවා. ගෙදර අමාරුකම් නිසා එයා කඩයක වැඩ කළා. එයා දක්ෂයි. එයා කොහේ ගියත් හැමෝම ඒක කියනවා. එයා තමයි පවුලේ වැඩිමලා. එයා හිටියා නම් මට මෙහෙම වෙයිද? මම පොඩ්ඩක් අසනීප වුණත් එයා හරියට දුක් වෙනවා. එයා දැන් මොන වගේ දේවල්වට මූණ දෙනවද කියලා මම දන්නේ නැහැ.
බාලසුබ්රමනියම් මාලිනී (වයස 47)
මාලිනී පවසන්නේ තම පුත් බාලසුබ්රමනියම් භෝජරාජන් (අවුරුදු 17) පාසල් අධ්‍යාපනය ලබන අතරතුර ඔවුන්ට තම නිවසෙන් ඉවත් වීමට සිදු වූ බවයි. 2009.04.19 වැනි දින දහස් ගණනක් ජනතාව මැද ඔහු අතුරුදහන් වූයේ කෙසේදැයි තවමත් තමාට සිතාගත නොහැකි බව ඇය පැවසුවාය.
-
මේක මගේ පුතා බඳින්න කලින් ගත්ත එකක්. මේක ගන්න කලින් එයා ළඟ පුටු දෙකක් තිබුණා. මම හිතන්නේ ඒ 1995. ඒ පුටු නිල් පාටයි. මම හිතන්නේ ඒ අපේ පුතා අතුරුදහන් වුණු අවුරුද්ද. අර පුටු දෙක කැඩුණට පස්සේ පුතා මේ පුටු දෙකයි ස්ටූල් එකකුයි ගෙනාවා. පුතා දියුණු වුණාට පස්සේ තමයි අපේ ජීවිතවලටත් හරිගියේ. මම මෙච්චර දවස් මේ පුටුව කාමරේ තියලා තිබිලා, ගිය දෙසැම්බර් තමයි එළියට ගත්තේ. මම ජීවත් වෙලා ඉන්නකම් මම මේ පුටු පරිස්සම් කරනවා. මම මැරෙනකම් මට මේ පුටු එක්ක ජීවත් වෙන්න වෙයිද කියලා මම දන්නේ නැහැ.
මව – ජේසුදාසන් මරියා (වයස – 65)
මුහුදු වෙරළේ මිතුරෙකු සමඟ කතා කරමින් සිටියදී සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් තම 29 හැවිරිදි පුතා පැහැරගෙන යනු ඇතැමුන් දැක ඇති බව මරියා පවසයි. 2006 ජූනි 7 වැනිදා රාත්‍රියේ මසුන් ඇල්ලීමට මුහුදට යා යුතු නිසා ඔරුව සෝදා දැල් පටවා තැබීමට ඔහු මුහුදු වෙරළට ගොස් ඇත.
-
එයා එක සාක්කුවක පොඩි දිනපොතක් දාගෙන හිටියා. මම එයා ඒකේ ලියනවා දැකලාත් තියෙනවා. හරියට එක වෙලාවක නෙමේ, එයා නිදහසේ ඉන්න වෙලාවට එයා ඒකේ ලියනවා. අනිත් හැමවෙලාවේම එයා ඒක එයාගේ සාක්කුවේ දාගෙන හිටියේ. මම දන්නේ එයා කවි ලියනවා කියලා විතරයි. මම එයාගෙන් මුකුත් අහන්නේ නැහැ. එයා මට කියන්නේත් නැහැ.
එයා තමයි වැඩිමල් පුතා. අපි එයාට ගොඩක් ආදරෙයි. එයාට පස්සේ ඉපදුණ තුන්දෙනාම දුවලා. පාරේ යනකොට අපිට ප්‍රශ්නයක් වුණත් අපි වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ .
මව – රාජරත්නම් මහාදේවි (වයස 53)
18 හැවිරිදි රාජරත්නම් සත්යරත්නම් 2009 වසරේ සුදන්තිරපුරම් ප්‍රදේශයේදී අතුරුදහන් විය.
-
මේක ලිව්වේ මගේ පුතා ඉපදුන වෙලාවේ. මම කවදාවත් ඒක එළියට ගන්නේ නෑ. මේක දකිනකොට මට වේදනයි. ඒ නිසා ඒක මට නොපෙනෙන තැනක මම තියලා තියෙනවා. ඒත් මගේ හිත කකියනවා, මම මේක අරගෙන බලනවා. මම හැමදේම කුණුගොඩට විසි කළා. මට මේකත් විසි කරන්න හිතුණා, ඒත් එතකොට මගේ පුතාගේ මූණ මට පේනවා. මගේ පුතාව මතක් වෙන්න මගේ ළඟ තියෙන එකම දේ මේක නේද කියලා මට පේනවා.
මව – සිවපාදම් රාජේශ්වරී (වයස 65)
20 හැවිරිදි සිවපාදම් සිවදර්ශන් අවතැන්ව හමුදා පාලන ප්‍රදේශය දෙසට යමින් සිටියදී අතුරුදන් විය.
-
මට එයාව හැම විනාඩියකම මතක් වෙනවා. මම කොහොමද එයාව අමතක කරන්නේ? අපිට එයාව අමතක වෙන්නේ අපි මැරුණම තමයි. නැත්නම්, අපිට සිහිකල්පනාව නැතුව ගියාම එයාව අමතක වෙලා යයි. එහෙම නැතුව අපිට එයාව කවදාවත් අමතක වෙන්නේ නැහැ. මට එයාව මතක් වෙන්න තියෙන්නේ පින්තූරයක් විතරයි. මැණික් ෆාම් කඳවුරේ ඉඳන් ආපහු ආපු මිනිස්සු මට දුන්න එයාගේ පින්තූරවලින් තමයි මම එයාත් එක්ක ජීවත් වෙන්නේ. මේ පින්තූර නොතිබුණා නම් මම ජීවත් වෙයිද කියලාවත් මම දන්නේ නැහැ.
බිරිඳ – රවිකුමාර් මේරි ඉම්මාගුලේට් (වයස 54)
2009 මැයි 16 වැනි දින ඔවුන්ගේ තුන් හැවිරිදි පුතාට වතුර ගෙන ඒමට ගිය තම සැමියා ආපසු නොආ බව බිරිඳ මේරි ඉම්මාගුලේට් පවසයි. "තත්වය ගොඩක් දරුණුවට තිබුණේ. එයා ආවේ නැති නිසා එයාලා අපිව තාවකාලික කඳවුරකට යැව්වා. කඳවුරට ආපු අය කිව්වා ඒගොල්ලෝ එයාව ඕමන්තේදී දැක්කා කියලා." මේරි ඉම්මාගුලේට් පැවසුවේ තනිව සිටි සියල්ලන්වම බස් රථයක දමාගෙන රැගෙන ගිය බව ඔවුන් තමාට පැවසූ බවයි.
-
මම එයාලාට වළල්ලකුයි, මුද්දකුයි, බ්‍රේස්ලට් එකකුයි, කරාබු දෙකකුයි ගත්තා. සාප්පුව කළේ ත්‍රිකුණාමලයෙන් ආපු කෙනෙක්. මගේ අතට සල්ලි ලැබුණ හැමවෙලාවකම මම ඒක ඉතුරු කරගෙන මගේ නෝනාටයි දුවලා තුන්දෙනාටයි මේ වගේ දේවල් ගත්තා. ඒ කාලේ ඒවා එච්චර ගණන් නැහැ.
මගේ අතුරුදහන් වුණ දුවව මතක් වෙන්න අපි ළඟ තියෙන්නේ මේ කරාබු දෙක විතරයි. එයාගේ දේවල් දැන් අනිත් ළමයි පාවිච්චි කරනවා. මේවා තියාගන්න එකේ තේරුම මොකක්ද ? අපේ ළමයා අපි ළඟ නැහැ. එයා ආපහු එයි කියලා අපි බලාපොරොත්තු තියාගන්නේ කොහොමද ?
පියා වීරමලෛ නඩරාසා (වයස 78)
වීරමලෛ සුලෝචනා (අවුරුදු 22) 2009 වසරේදී අතුරුදහන් විය. තම දියණිය අතුරුදහන් වූයේ කොහේද කවදාද කියා තමාට මතක නැති බව නඩරාසා පවසයි. ඔහු පවසන්නේ ඔහුට සියල්ල අමතක වී ඇති බවයි.
-
ඒ වෙනකොට අපි බැඳලා මාස හයයි. මට දරුවෙක් ලැබෙන්න හිටියේ. එයාට මෙහේ රස්සාවක් තිබුණේ නැහැ. ඒ නිසා අම්පාරේ මෝලේ මැනේජර් කෙනෙක් විදිහට රස්සාවක් තියෙනවා, දවස් දහයකින් එනවා කියලා එයා මට කිව්වා. එයා කවදාවත් ආපහු ආවේ නෑ. ලියුම ආවේ මාසෙකට පස්සේ. ලියුමේ එයා කියලා තිබුණේ එහේ ගොඩක් ප්‍රශ්න, එයා එක්ක තරහා වෙන්න එපා කියලා. එයාට මගෙන් වෙන් වෙලා ඉන්න අමාරුයි කියලත් කියලා තිබුණා. ලියුම ආවේ හාල් ගෙනියන ලොරියක. මේක තමයි ලියුම. එයා කියලා තිබුණා ලොරිය ආපහු එනකොට ලියුමක් ලියලා එවන්න කියලා. මමත් ලියුමක් ලියලා එව්වා. එයාට ලියුම ලැබුණද දන්නෙත් නෑ. ලොරිය ආයෙත් ආවා, ඒත් එයාගෙන් ලියුමක් තිබුණේ නැහැ. ලොරියේ අය කිව්වා හැමෝවම ටයර් දාලා පිච්චුවා කියලා. මම ජීවත් වෙලා ඉන්නේ මගේ දරුවා වෙනුවෙන්. මේ ලියුම බලන්න. මේ ලියුමෙන් පේනවා එයා මුළු හදවතින්ම මට ආදරය කළා කියලා.
බිරිඳ – වර්ජිනි මරියදාස් (වයස – 68)
35 හැවිරිදි ජී. මරියදාස් 1990 ඔක්තෝම්බර් මාසයේදී අම්පාරේ සිට නිවස බලා යමින් සිටියදී පැහැර ගැනීමට ලක් වූ බව වර්ජිනී පැවසුවාය.
-
මේ මගේ පුතා ඉස්කෝලේ යන්න ගත්ත බයිසිකලය. ඒ මේ බයිසිකලයෙන් හැමතැනම ගියා. ටියුෂන් පන්තිවලට, කඩේට, හැමතැනටම. එයාගේ තාත්තාත් අලුත් බයිසිකලයක් ගත්තා. හැබැයි එයා පුතා පාවිච්චි කරපු බයිසිකලය තමයි පාවිච්චි කරන්නේ. බයිසිකලය පදින්න පුළුවන් තත්වෙක තිබුණේ නැහැ. ඒත් එයා බයිසිකලය හොඳ තත්වයෙන් තියාගන්න කීප වතාවක් ඒක අලුත්වැඩියා කළා.
මව – චන්ද්‍රලිංගම් මහේෂ්වරී (වයස 70)
සුන්දරලිංගම් බාබු (වයස අවුරුදු 27) ඔහු අවතැන්ව සිටියදී 2009 මාර්තු 19 වැනිදා උඩයාර්කට්ටු ප්‍රදේශයේදී අතුරුදහන් විය.
-
එයාව මතක් වෙන්න එයා හිටවපු පොල් ගහක් තියෙනවා. අපි අවතැන් වෙලා ඉඳලා ආපහු එනකොට ෂෙල් වැදිලා කැඩිලා ගහේ කෑල්ලක් තිබුණේ නැහැ. අපි හිතුවේ ගහ මැරෙයි කියලා, ඒත් දැන් ඒකේ ගෙඩි හැදෙනවා. මේ වතාවේ හොඳ පොල් ගෙඩි ටිකක් තියෙනවා. මගේ පුතා පොල් කඩලා ත්‍රිකුණාමලයට ගෙනියනවා. අනිත් ළමයිනුත් මේ ගහට කියන්නේ අක්කාගේ ගහ කියලා. මමත් මේ ගහට කියන්නේ ලෝජිගේ (තමිලනීට ඇගේ ළබැඳියන් අමතන නම) ගහ කියලා. දැන් හැමෝම අහන්නේ මේ පොල් ගෙඩිය ලෝජිගේ ගහෙන්ද කියලා.
පියා – සත්‍යනාදන් විජේන්ද්‍රන් (වයස 59)
විජයේන්ද්‍රන් තමිලනී (අවුරුදු 17) 2009 මාර්තු 7 වැනිදා මාතලන් ඉඩයික්කාඩු ප්‍රදේශයේදී අතුරුදහන් විය. ඇයගේ පියා පවසන්නේ ඇය නෑමට ගොස් ආපසු නොපැමිණි බවත්, හමුදාව ඔවුන්ව වටකළ බව ඔහුට දැනගන්නට ලැබුණ බවත්ය. ඔවුන් වට්ටුවාක්කල් වෙත ළඟා වන තුරුම අවසන් මොහොත දක්වා ඔහු ඇයව සෙවූ අතර, තවමත් සොයමින් සිටියි.
-
අපි බැන්දේ විවාහ යෝජනාවකින්. එයාව දැකපු මොහොතේම මම එයාට කැමති වුණා. එයා බොන්නේ නැහැ. මට එතකොට අවුරුදු 19ක් විතර ඇති. අපි බැන්ද දවස මට තාමත් මතකයි. අපි 1999 ජනවාරි 23 කසාදය ලියාපදිංචි කළා. අපි ඊළඟ මාසේ, ඒ කියන්නේ පෙබරවාරි 13 මෙහෙදී (මන්නාරම, පල්ලිමුන.) උත්සවය ගත්තා. එයා තාලිය බැන්දේ මෙහෙදී. ඊට පස්සේ 'කූර' සාරිය ඇඳලා එයාගේ ගමට ගියා. අපේ මඟුල් ගෙදරට ගොඩක් වියදම් කළේ එයාගේ පැත්තෙන්. අපේ මඟුල් ගෙදර අපි චිත්‍රපටිවල දැකලා තියෙන එකක් වගේ තිබුණා. කුඩ හිටවලා තිබුණා, සින්දු කිව්වා, බෙර ගැහුවා. අපේ විවාහය විශේෂයි. මට එයාව මතක් වෙන්න තියෙන එකම දේ මේ වෙඩින් පින්තූරය විතරයි. මේ පින්තූරය ගත්තේ මාත් එක්ක ඉස්කෝලේ ඉගෙනගත්ත පිරිමි ළමයෙක්.
බිරිඳ – ඇන්ටොනිටා ෆිගරාඩෝ (වයස 43)
"2007 අප්‍රේල් 6 වෙනිදා අපි අපේ ගමේ පල්ලියේ උත්සවයට තලෙයිමන්නාරමේ ඉඳලා ආපහු ආවා. මගදි එයාට කාගෙන්ද සල්ලි වගයක් ගන්න තියෙනවා කියලා එයා පෙසාලෛ දී බස් එකෙන් බැස්සා. එයා ආයේ කවදාවත් ආවේ නැහැ.” සෙබමලෙයි නෙල්සන් කනුඩාසියස් (අවුරුදු 30) අතුරුදහන් වන විට වයස අවුරුදු හයත් දෙකහමාරක් වයසැති තම පුතුන් සමඟ ජීවන සටන ආරම්භ කළ ඇන්ටෝනිටා පිගරඩෝ පවසන්නේ ඥාතීන්ගේ උපකාරයෙන් තමා ජීවිතය ගැටගසා ගන්නා බවයි.
-
එයා මේක ඕලෙවල් විභාගයට ගෙනිච්චා. ඉස්කෝලෙන් ෆෝම් පුරවලා තිබුණා, එයාලා තමයි පුතාව තැපැල් කන්තෝරුවට එක්කන් ගිහින් තිබුණේ. ඊට පස්සේ පුතා තැපැල් කන්තෝරුවට ගිහින් තැපැල් හැඳුනුම්පත අරන් ආවා. මම හිතන්නේ 2008 දෙසැම්බර් මාසේ තමයි එයා සා/පෙළ ලිව්වේ. අපි ඊළඟ මාසේම, ඒ කියන්නේ ජනවාරි 20 වෙනිදා පළවෙනි වතාවට අවතැන් වුණා. අපි අතට අහුවුණ දෙයක් අරගෙන ගෙදර දාලා ගියා. එයාව මතක් වෙන්න තියෙන්නේ මේක විතරයි. එයාගේ ඇඳුම් දෙකකුත් මම පරිස්සමට අරන් තියලා තියෙනවා
මව – ගනේෂන් කදිරමලර් (වයස 61)
ගනේසන් තික්සන්කුමාර් නම් 16 හැවිරිදි පාසල් සිසුවා 2009 මාර්තු 6 වැනිදා පොක්කනෛ ප්‍රදේශයේදී අතුරුදහන් විය. ඔහු පවුලේ අය පොක්කනෛ ප්‍රදේශයේ අවතැන්ව රැඳී සිටින අතර දිය නෑමට මුහුදට ගිය ඔහු ආපසු පැමිණියේ නැත. ඔහුගේ මව වන කදිරමලර් පවසන්නේ ඇය අද දක්වාම ඇයගේ පුතා කොහේදැයි සොයන බවයි.
-
අපිට මෙහෙදි උගන්වපු පුන්කුඩතිව්වලින් ආපු ගුරුවරයෙක් හිටියා. එයා නැතිවුණා. මම එයාට කියලා දුවගේ හඳහන හදාගත්තා. මම එහෙම දේවල් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. එයා තමයි දුවගේ අනාගතය සුබදායකයි කිව්වේ. දැන් සාස්තරකාරයෝ ළඟට ගියොත් එයා කොහේ හරි ඉන්නවා කියලා බොරු කියනවා. මම මේ කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ. ඔයා විශ්වාස කරන එකක් නැහැ, කඳවුරේ ඉන්නකොට මට සාස්තරකාරයෝ 32ක් හමුවුණා. මගේ ළමයා මට හම්බ කරලා සල්ලි දුන්නොත් මම සාස්තරකාරයෙක් හමුවෙන්න යනවා. මම දැනටත් උපවාස කරනවා. මම දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. මට එයාව මතක් වෙන්න තියෙන එකම දේ මේ ලියවිල්ල විතරයි. මේකේ තියෙන එකම හොඳ දේ එච්චරයි. මගේ ළඟ එක පින්තූරයක් වත් නැහැ.
එයා ජීවතුන් අතර නැහැ කියලා කිව්වොත් අපි බත් මිටක් තියාගනී. (පුද්ගලයෙක් මියගිය පසු කරන හින්දු චාරිත්රයකි.) අපි දැන් ඉන්නේ එයා ජීවතුන් අතරද මැරිලද කියලා නොදැන වේදනාවෙන්. එයා මැරුණානම් කමක් නැහැ, අපි බලන් ඉඳලා අඬලා ඇති. මම මැරුණත් මගේ හිතට සැනසීමක් දැනෙන එකක් නැහැ.
මව – සිවඥානම් තවමනී (වයස 65)
21 හැවිරිදි සිවඥානම් සත්‍යකලා 2009 මැයි 16 වැනි දින වට්ටුවක්කල් ප්‍රදේශයේදී අතුරුදහන් විය.
-
එයා ඉගෙනගෙන ඉවරවෙලා රස්සාවක් හොයමින් ගෙදර හිටියේ. මොණරාගලට ලේ ඕනේ කියලා දැනගෙන එයා ගිහින් ලේ පරිත්‍යාග කරලා ආවා. එයාට මේක ලැබුණේ ලේ පරිත්‍යාග කළ එකට තෑග්ගක් විදියට. එයා මගේ කැමැත්ත නැතුව කිසිම දෙයක් කරන්නේ නැහැ. දවසක් මම අල්මාරියෙන් සේරම එළියට අරගෙන හේදුවා. මට ඒ වෙලාවේ තෑග්ග හම්බවෙලා මම ඒ ගැන එයාගෙන් ඇහුවා. “පුතේ කවුද ලේ දුන්නේ? මේක කාගෙද?". එයා කිව්වා "ඒ මම. ලේ උවමනා කෙනෙක්ට මම ලේ දුන්නා." කියලා. ඊට පස්සෙ මම මොකුත් කිව්වෙ නෑ. ඊට පස්සේ එයා හැමෝටම බලන්න පුළුවන් වෙන්න තෑග්ග එළියෙන් තියලා තිබ්බා.
මව – ගනේෂන් අමරාවතී (වයස 52)
අමරාවතී පවසන්නේ උසස් පෙළ විභාගයට පෙනී සිට නිවසේ සිටි තම පුතා වන ගනේෂන් මොහාන්රාජ් (අවු. 21) 2008 නොවැම්බර් 29 වැනිදා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ගොස් නැවත නිවසට නොපැමිණි බවයි.
-
මේ ගහටත් මගේ පුතාගේ වයස වෙන්න ඕනේ. එයා තමයි මේ ගහ පැළ කළේ. පුතා තමයි වත්තේ තියෙන පොල් ගස්වලින් වැඩි හරියක් පැළ කළේ. එයා අපි එක්ක ඉන්නකොට වැඩ කරලා හම්බ කළා. එයා අපි එක්ක නැති කාලෙක අපිට ආදායමක් තියෙන්න එයා වගබලා ගත්තා. අපේ දුවව මතක් වෙන්න කිසිම දෙයක් අපි ළඟ නැහැ. ඒක අපිට ලොකු හිත් වේදනාවක්.
මව – චන්ද්රවඩිවේල් විජිතා (වයස 53)
විජිතා පවසන්නේ තම පුතා වන චන්ද්රවඩිවේල් චන්ද්‍රප්‍රකාශ් (අවු. 20) අවතැන්ව සිටියදී අතුරුදහන් වූ බවයි. ඇයගේ දියණිය වන චන්ද්රවඩිවේල් නගුලේෂ්වරී (අවු. 27) වට්ටුවාක්කල් ප්‍රදේශයේදී අතුරුදහන් වී තිබුණි.
-
මට ළමයි 6 දෙනෙක් ඉන්නවා. ඔක්කොම පිරිමි ළමයි. එක ගෑනු දරුවෙක් වත් නැහැ. හැබැයි ගෑනු දරුවෙක් කරන හැමදේම කළේ මෙයා තමයි. එයා උයනවා, පිඟන් සෝදනවා, රෙදි සෝදනවා, ගෙදර පිරිසිදුවට තියාගන්නවා. මොනවා කිව්වත් ගෙදරකට ගෑනු දරුවෙක් ඕනේ. එයා අතුරුදහන් වුණාට පස්සේ මම තමයි හැමදේම තනියම කරගන්නේ. ඒත් කාටවත් එයා වගේ වෙන්න බැහැ. එයාව මතක් වෙන්න මගේ ළඟ මුකුත්ම, අඩුගාණේ පින්තූරයක්වත් නැහැ.
මව – ඇන්තනි ෆිලෝමිනා ෆීරාඩෝ (වයස 74)
ෆිලෝමිනා පවසන පරිදි, 21 හැවිරිදි ඇන්තනි ජෝන් වෙල්වීස් ෆීරාඩෝ 2008 ජූලි 13 වන දින තලෙයිමන්නාරමේ කරිසාල් හි කෘෂිකාර්මික ගොවිපලක සේවය කරමින් සිටියදී අතුරුදහන් විය. එම ගොවිපළේ වැඩ කරමින් සිටි වයසක පුද්ගලයෙක් බුලත් විටක් මිලදී ගෙන එන ලෙස පස්වරු 5.30 ට පමණ ඇයගේ පුතාට පවසා ඇත. කඩේට ගිය තම පුතා ආපසු නොආ බව ෆිලෝමිනා පවසයි.
-
මේක එයාගේ සහෝදරයා (නවරත්නම්), තමන්ගේ සහෝදරයාට (මනෝකරන්) ගත්ත තෑග්ග. එයා ඒක ගත්තේ ඇයි කියලා මට මතක නැහැ. මට මතක එයා කොහෙහරි දුරක ඉඳලා ආවාට පස්සේ මේක අරගෙන දුන්නා කියන එක විතරයි. එයා ඒකත් පරිස්සමට තියාගත්තා. බලන්න, ඒක තාමත් අලුත් එකක් වගේ තියෙනවා.
මේ පර්ස් එක අයිති පොඩි එක්කෙනාට (මනෝකරන්). එයා හැමවෙලාවෙම මේක එයාගේ සාක්කුවේ දාගෙන හිටියා. ඒක ඇතුළේ හැමවෙලාවේම විබූති ටිකක් තියෙනවා. එයා හැමවෙලාවෙම නළලේ විබූති ගාගෙන ඉන්නේ. පර්ස් එකේ පින්තූරෙකුත් තිබුණා. ඒක කොහෙද කියලා මම දන්නේ නැහැ.
එයාලා අම්පාරේ මගේ ලොකු දුවගේ ගෙදර ගිහින් එහි ගඩොල් හදන තැනක වැඩ කරමින් හිටියා. එක දවසක් රෑ 11ට විතර මිනිස්සු කට්ටියක් ඇවිත් දෙන්නවම අරන් ගියා. තවම එයාල ගැන කිසිම තොරතුරක් නැහැ.පියා – මාරියප්පන් ආරුමුගම් (වයස – 73)
ආරුමුගම්ගේ වැඩිමහල් පුතා වන නවරත්නම් (අවුරුදු 30) සහ බාල පුතා වන මනෝකරන් (අවුරුදු 25) රැකියාව නිමවී තම සේවා ස්ථානයේ රැඳී සිටින විට මධ්‍යම රාත්‍රියේ ජීප් රථයකින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන යන ලදී.
-
මගේ පුතා ඉගෙන ගත්තේ පේදුරුතුඩුවේ. එයා නෑදෑයෙකුගේ ගෙදර නතර වෙලා හිටියේ. පුතා අතුරුදහන් වුණාට පස්සේ මම එහේ ගිහින් පුතාගේ බඩු ඔක්කොම මෙහෙ අරගෙන ආවා. මට තාම මතකයි එයා මේ ටයි එකයි මේ සපත්තුයි දාගෙන ආපු දවස. එයා යාපනයට ගියේ දොස්තර කෙනෙක් වෙන්න ඉගෙනගන්න. දැන් එයාගේ යාළුවෝ දොස්තරලා වෙලා ඉන්නවා. එයාලාම කියලා තියෙනවා එයාලාට වැඩිය මගේ පුතා ඉගෙනගන්න දක්ෂයි කියලා. එයා හිටියා නම් මගේ අසනීපය සනීප කරලා ඇති.
මව – සූසෙයි වික්ටෝරියා (වයස 73)
වික්ටෝරියාගේ 21 හැවිරිදි පුත් ජේසුරාසා ජෙගරාජ් 2009 මැයි 18 දින අතුරුදහන් විය. වික්ටෝරියා පවසන්නේ තමා සමඟ තම දියණිය රැගෙන ගිය නිසා ඇයට තම පුතා මගහැරුණු බවයි. ඔහුව බස් රථයකට නංවා ගෙන ගිය බව එය දුටු අය තමාට පැවසූ බව ඇය පවසයි.
-
එයා ක්‍රිකට්වලට හරිම ආසයි. කොහෙහරි ක්‍රිකට් තරගයක් තියෙනවා නම් එයා ගෙදර ඉන්නේ නැහැ. එදාට විතරක් මට කඩේ බලාගන්න කියලා එයා මැච් එක ගහන්න යනවා, එන්නේ අඳුර වැටුණම. මම හිතන්නේ එයා මේ කුසලානය දිනපු දවස පෝය දවසක්. එයාලා රතිඤ්ඤා පත්තු කර කර සමරමින් හිටියා. අපේ ගෙදරට ඉස්සරහින් ඇතුළු වෙන තැන ත්‍රීවිල්වලින් වැහිලා තිබුණා. එයා තෙන්ඩුල්කාර්ට කිව්වේ ‘සෙන්ඩුල්කාර්’ කියලා. එයා නිතරම කිව්වේ එයාගේ ප්‍රියතම ක්‍රීඩකයා තෙන්ඩුල්කාර් කියලා. එයාගේ ප්‍රියතම කණ්ඩායම ඉන්දියාව. එයා ලංකාවේ කෙනෙක් වෙලා ඉන්දියාවට සහය දෙනවා කියලා මම එයාට විහිළු කරනවා. මේ කුසලානය දකින හැම වෙලාවෙම මට එයාගේ සන්තෝසයෙන්, හිනාවෙන් පිරුණු එයාගේ මූණ මතක් වෙනවා.
බිරිඳ – ඥානසෙල්වම් ඥානමලර් (වයස 50)
2008 වසරේ මාර්තු මස 01 වැනිදා මොණරාගල නගරයේ ත්‍රිරෝද රථ නැවතුම්පළෙන් පුද්ගලයකු තම ත්‍රිරෝද රථයේ නංවාගෙන යෑමෙන් පසු ඇයගේ සැමියා වන වේලුසාමි පුණ්ණියමූර්ති (අවුරුදු 32) අතුරුදහන් වූ බව ඥානමලර් පවසයි. ඔහුගේ ත්‍රිරෝද රථය කැලෑ ප්‍රදේශයකින් හමුවූ බව තමාට පවසන ලද බව ඇය පැවසුවාය. ඇය එහි ගිය විට ඇයට සොයා ගත හැකි වූයේ ඔහුගේ සෙරෙප්පුව පමණි.
-
අපි එයාට මේ චේන් එක අරන් දුන්නේ වී විකුණලා. අපි හැමදාම වී විකුණලා පවුම් බාගෙක හරි පවුම් කාලක හරි චේන් ගන්නවා. මේක සාමාන්‍ය පුරුද්දක්. ගොයම් කපන්න සල්ලි නැත්නම් අපි චේන් එකක් උගස් කරනවා. අපි වගා කළේ එහෙමයි. ඒත් අපි එයාට ගත්ත මේ චේන් එක දිගටම තියාගෙන හිටියා. අපි ඒක එළියට ගත්තෙත් නෑ. ඒක අරන් බැලුවොත් අපේ රුධිර පීඩනය වැඩි වෙනවා. මම මේ ගත්තේ ඔයා අහපු නිසා විතරයි. චේන් එක කළු ගැහිලා.
පියා – කාතලිංගම් ගනේෂපිල්ලේ (වයස 58)
ගනේෂපිල්ලේ පවසන්නේ තමා අවසන් වරට තම 24 හැවිරිදි පුතා දුටුවේ 2008 දෙසැම්බර් 20 වැනිදා ධර්මපුරම් ප්‍රදේශයේදී බවයි.
-
මම බැන්දේ එයාට ආදරය කරලා. ඒ කාලේ මට වයස අවුරුදු 19ක් වගේ ඇති. එයාට අවුරුදු 20යි. මම දැන් ජීවත් වෙන්නේ එයාත් එක්ක ගත කරපු මගේ ජීවිතේ අවුරුදු හයේ මතකයන් එක්ක. මාව ජීවත් කරවන්නේ ඒ මතකයන්.
බිරිඳ – රූපකාන්තන් ලුසියා (වයස 41)
2008 ජනවාරි 16 වැනි දින රාත්‍රී 7 ට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මුරුගයා රූපකාන්තන්ට (අවු. 25) කනට තුවක්කුවක් තබා තර්ජනය කර වව්නියාවෙන් රැගෙන ගිය බව ඔහුගේ බිරිඳ ලුසියා පවසයි. තම සැමියා පැහැරගෙන යන අවස්ථාවේ තමා සමඟ මාස 3ක කුඩා දරුවකුද, තවත් අවුරුදු එකහමාරක දියණියක්ද, අවුරුදු 3ක පුතෙකුද සිටි බව ඇය පවසයි.
-
මේ එයා බැඳපු තාලිය. මැණික් ෆාම් කඳවුරට යනකොට මම මේක ගැළෙව්වා. මම ආපහු ආපු ගමන් තාලිය විදියට කහ නූලක් බෙල්ලේ බැඳගත්තා. මමයි එයාව භාර දුන්නේ. එයාලා කිව්වේ ප්‍රශ්න කරලා එයාව එවනවා කියලා. එයාව හමුදාවෙන් අරන් යනකොට අපේ පුතාලා දෙන්නාගෙන් එක්කෙනෙක්ට අවුරුදු එක හමාරයි, අනිත් පුතාට අවුරුදු 4යි. මම එයා මැරිලා ඉන්නවා දැක්කේ නැහැ. මම තාමත් මේ තාලිය දාගෙන ඉන්නේ එයා තවමත් කොහේහරි ජීවතුන් අතර ඉන්නවා කියන විශ්වාසයෙන්. මම මැරෙනකම් මේක දාගෙන ඉන්නවා.
බිරිඳ – ජෝර්ජ්රාජන් රාජේශ්වරී (වයස 53)
රාජේශ්වරී විසින් හිටපු සටන්කාමියෙක් වූ ඇයගේ සැමියා වන පතිනිනාදන් ජෝර්ජ්රාජන් (35) වට්ටුවාක්කල් ප්‍රදේශයේදී හමුදාවට භාර දුන්නාය. ඔහු අකමැති වුවද හමුදා පාලන ප්‍රදේශයට යන ලෙස ඔහුට බල කළේ තමන් බවත්, ප්‍රශ්න කිරීමෙන් පසු ඔහුව නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් තමන් ඔහුව හමුදාවට භාර දුන් බවත් ඇය පවසයි.
-
අපි ළඟ තියෙනවා අපි එයාට ගත්ත චේන් එකක්. එයාව මතක් වෙන්න මම ඒක දාගෙන ඉන්නවා. K අකුර තිබුණ පෙන්ඩන්ට් එකක් තිබුණා. මගේ අතින් ඒක නැතිවුණා. අපි ඒක ගත්තේ එයාගේ දෙවෙනි උපන්දිනයට. එයාගේ තාත්තා චාවකච්චේරි ගිහින් එයාට උපන්දිනයට ලැබුණ සල්ලිවලින් ඒක ගත්තේ. අපි අවතැන් වෙනකොට එයා ඒක ගළවලා මට දුන්නා. මම එදා ඉඳන් මේක දාගෙන ඉන්නවා. හැබැයි පෙන්ඩන්ට් එක නැති වුණා.
මව – යෝගේස්වරන් ඉන්ද්‍රාදේවි (වයස 57)
ඇගේ 20 හැවිරිදි පුත් යෝගේස්වරන් කයුරන් 2009 මාර්තු 16 දින පොක්කනෛ ප්‍රදේශයේදී අතුරුදහන් විය.
-
සෑහෙන කාලෙකින් වැස්සේ නැහැ. අපි ගොවිතැන් කරලා තමයි ජීවිතේ ගැටගහගත්තේ. වැස්ස නැති නිසා එයා වව්නියාවේ ඉඳන් චාවකච්චේරියට ගිහින් භූමිතෙල් විකුණුවා. සෙනඟ ගොඩක් එක්ක එයාත් ගියේ. එයා අතුරුදහන් වුණාට පස්සේ මේ පාරේ කවුරුහරි බයිසිකලයකින් යනකොට "අප්පා එනවා" කියලා කෑගහගෙන දිව්වා මගේ ළමයි. ඊට පස්සේ එයාලා ඒ එයාලාගේ අප්පා නෙමෙයි කියලා අඬනවා. එයාලා කොච්චර වෙලා එක දිගට අඬනවද කිව්වොත්, සමහර වෙලාවට එයාලාට උණ හැදෙනවා. මම මගේ ළමයින්ව බලාගත්තේ එහෙමයි.
බිරිඳ – වරදරාසා මාලවි (වයස 64)
1987 අප්‍රේල් 24 වැනිදා භූමිතෙල් විකිණීමට නිවසින් පිටව ගිය වරදරාසා (අවුරුදු 29) නැවත නිවසට නොපැමිණි බව මාලවී පවසයි.
-
මේක එයාගේ උපන්දිනයට මම ගත්ත ඇඳුම. හැබැයි එයා එක පාරක් වත් මේක ඇන්දේ නැහැ. එයාගේ තාත්තා නිතරම වව්නියාවට ගියා. එයා තමයි එයාගේ තාත්තාට මේක අරන් දෙන්න කියලා කියලා තිබුණේ. අපි එක දිගට අවතැන්වෙමින් හිටිය නිසා අපිට එයාගේ උපන්දිනය සමරන්න බැරි වුණා. එයා ඇඳුම එයා යන හැමතැනම අරගෙන ගියා. එයාට ඒ අඳුම ඕන වුණා, ඒක ගත්තා, හැබැයි කවදාවත් ඒක අඳින්න බැරි වුණා. මේකේ පාට අඩු වෙලාත් නැහැ. මේකත් එක්ක තමයි අපි දැන් ජීවත් වෙන්නේ.
මව – තංගවේල් වලර්මදී (අවුරුදු 54)
තංගවේල් කීර්තනා (අවුරුදු 14) 2009 පෙබරවාරි 27 වැනිදා පොක්කනෛ ප්‍රදේශයේදී අතුරුදහන් විය.
-
එයා ඉස්කෝලේ යන කාලේත් ලියකියවිලි කටයුතුවලට උදව් කරන්න ග්‍රාමසේවක කාර්යාලයට ගියා. පවුල් සලාක කාඩ් පුරවන්න උදව් වෙන්න කියලා ග්‍රාමසේවක මහත්තයා දුවට කියනවා. දුව ලස්සනට ලියනවා කියලා කියනවා. මාසේ අන්තිමට දුව කරපු උදව්වලට යම් මුදලකුත් දෙනවා. දුව මේ ඇඳුම ගත්තේ ඒ සල්ලි එකතු කරලා. ඒක සාප්පුවකින් ගත්තේ, ඒ කාලේ ඒක රුපියල් 200/-ක් විතර. මට දුවව මතක් වෙන්න තියෙන්නේ මේක විතරයි. දුව මේ ඇඳුමේ ගහපු කටුවක් තාම ඒකේ තියෙනවා.
මව – සිවගුරු යමුනාදේවි (වයස 57)
යමුනාදේවි පවසන්නේ 19 හැවිරිදි සිවගුරු යෂිනි හමුදාවට භාර වූ බවයි.
-
මගේ පුතා කළේ එදා එදා කුලීවැඩ. එයා මේ කමිසය ගත්තේ එහෙම දවස ගාණේ හොයන සල්ලිවලින්. අපි එයාට වැඩිය මුකුත් දේවල් ගන්නේ නැහැ, එයාට ඕන දේ එයා ගන්නවා. එයා කතා කරන්නේ එයාගේ අම්මා එක්ක විතරයි, අම්මා යන හැමතැනකම එයාත් යනවා. එයා කවදාහරි එයි කියන බලාපොරොත්තුවෙන් එයාගේ අම්මා මේ කමිසය තියාගෙන ඉන්නවා.
පියා – මුරුගේසු (වයස 72)
මුරුගේසු ප්‍රභූ (අවු. 27) 2009 වසරේ පොක්කනෛ ප්‍රදේශයේදී අතුරුදහන් විය. එය සිදුවූයේ කවදාදැයි ඔහු නොදන්නා අතර, ඔහුගේ බිරිඳද දන්නේද නැද්ද යන්නද ඔහු නොදනී.
-
එයා ඉපදුණාට පස්සේ හොඳට ඇවිද්දා. එයා හැමතැනම බඩගාගන ගියා. අපි එයාගේ වීල්චෙයා එක අයින් කළා. ඒත් එයාගේ එන්නත් කාඩ් එක අපි ළඟ තියෙනවා. අපි එයාගේ ලියවිලි ඔක්කොම එක බෑග් එකකට දාලා අපේ බාල පුතාට දීලා තිබුණා. එහෙමයි අපිට එයාගේ ලියකියවිලි පරිස්සම් කරගන්න පුළුවන් වුණේ. අපිට එයාව මතක් වෙන්න තියෙන එකම දේ මේක. මේ කාඩ් එකේ එයාට අවුරුදු 5 වෙනකම් එයාගේ වර්ධනය ගැන, එන්නත් ගැන ඔක්කොම විස්තර තියෙනවා. එයාට ඇවිදින්න බැහැ. අපි දන්නේ නැහැ එයාට මොකද වුණේ කියලා.
මව – සෙල්වරාසා සරස්වතී (වයස 53)
ඇයගේ පුත් සෙල්වරාසා කුගසීලන් (1991.09.06 උපන්) සහ දියණිය සෙල්වරාසා පූජිතා (1994.05.22 උපන්) පිළිවෙළින් 2009 මාර්තු 14 සහ 2009 පෙබරවාරි 13 දිනවලදී අතුරුදහන් වූහ.
-
මට මගේ පුතාව මතක් වෙන්න තියෙන්නේ පින්තූර විතරයි. පින්තූර ගොඩක් තිබුණා. මම පැමිණිලි දාන්න ගිය හැමතැනටම මම පින්තූර දීලා තියෙනවා. දැන් පුතාව මතක් වෙන්න මගේ ළඟ තියෙන්නේ පින්තූර දෙකක් විතරයි. මගේ පුතා කොළඹ හෙට්ටි වීදියේ කඩේක වැඩ කරගෙන හිටියේ. අපි හිතුවා එයා කොළඹ නිසා එයා පරිස්සම් කියලා. අපි දිගටම තැනින් තැනට අවතැන් වෙවී හිටියේ. අපි එයා අතුරුදහන් වුණ විදිය ගැන කිසිම තොරතුරක් දන්නේ නැහැ. මමත් හැමතැනම ගිහින් තියෙනවා, ඒත් මට කිසිම උත්තරයක්
හොයාගන්න බැහැ.පියා – ඇන්තනි ජේසුරාසා (වයස 63)
-
අයියාව මතක් වෙන්න මගේ ළඟ මුකුත් නැහැ. තියෙන්නේ එයා මං වෙනුවෙන් හදපු කුස්සිය විතරයි. මට එයාව මතක් වෙන්න තියෙන එකම දේ ඒක විතරයි. ඒක හැදුවේ 1988 අවුරුද්දේ මගේ විවාහයට. ඒ කාලේ මගේ මඟුල් ගෙදරට එයා සල්ලි ගොඩක් වියදම් කළා. අපි අපේ දුවගේ විවාහයට මේ ගෙදර අලුත්වැඩියා කළා. මගේ ළමයි කිව්වා දැන් මේ කුස්සිය හොඳ නැහැ, මේක හදන්න ඕනේ කියලා. ඒත් මම එයාලට ඒකට ඉඩ දුන්නේ නැහැ. මගේ අයියාව මතක් වෙන්න මට තියෙන එකම දේ මේක. අපි තවමත් මේ කුස්සියේ
උයනවා.සහෝදරිය – ඇන්තනී කොන්සන්සි ෆිකරාඩෝ (වයස 59)
1990 ජුලි 20 වෙනිදා මන්නාරමේ සිට ඉන්දියාවට පලා යාමට උත්සාහ කළ කිහිප දෙනකු සමඟ තලෛමන්නාරමට ඔබ්බෙන් මුහුදේ මාළු අල්ලමින් සිටි කොන්සන්සිගේ සහෝදරයාවද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන නිදහස් කරන ලද මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් පැමිණ තම සහෝදරයා අත්අඩංගුවට ගත් බව ඔවුන්ට දැන්වූ බව ඇය පැවසුවාය.
-
කෆීර් ජෙට් එකක් අපේ ගෙදර වත්තට බෝම්බයක් දැම්මා. ඊට පස්සේ තමයි අපි අපේ ගෙදරින් ගියේ. අපි හැමදේම දාලා ගියා. බුලත් මල්ලේ දාලා තිබුණ ගිරය විතරයි ගෙනියන්න පුළුවන් වුණේ. අපිට දැන් තියෙන්නේ මෙච්චරයි. අපිට එයාගේ හැඳුනුම්පත හැර වෙන මුකුත් පරිස්සම් කරගන්න බැරි වුණා. මම මෙතැන ඉඳගෙන තමයි හැමදේම කරන්නේ. මෙතැනින් යන හැමෝවම මම දන්නවා. දවසක එයා මට අම්මා කියාගෙන මෙතැනින් දුවගෙන එයි කියලා බලාපොරොත්තුවෙන් මම මෙතැන වාඩි වෙලා ඉන්නවා.
මව – තුලසිඅම්මා (වයස 76)
තම 21 හැවිරිදි පුතා 2009 වසරේදී අතුරුදහන් වූ බව තුලසිඅම්මා පවසයි. ඇය පවසන්නේ ඔහු අතුරුදහන් වූ දිනය තමාට මතක නැති බවයි. ඔවුන් අවතැන් වී ස්ථානයක නැවතී සිටියදී ජලය ස්වල්පයක් ගෙන ඒමට ගිය තම පුතා ආපසු නොපැමිණි බව තුලසිඅම්මා පවසයි.
ශ්‍රී ලංකාව ලෝකයේ දෙවෙනියට වැඩිම අතුරුදහන් කිරීම් සිදු වූ රටයි. කෙසේ වෙතත්, පුද්ගලයන් දහස් ගණනකගේ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් විධිමත් ලේඛනගත වාර්තා කිසිවක් නොමැත. 30 වසරක යුද්ධය පැවති සමයේ සහ ඉන් පසුව ද, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා රජය අතර දකුණේ ඇති වූ ගැටුම්වලදී ද දස දහස් ගණනක් අතුරුදහන් වූ බවට වාර්තා වී ඇත. ආණ්ඩු විසින් විවිධ කොමිෂන් සභා පිහිටුවුව ද, මෙතෙක් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට යුක්තිය ළගා කර දීමට මෙතෙක් ලංකාවේ බලයට පැමිණි කිසිදු පාලකයෙක් සමත්ව නැත.
2009 යුද්ධය අවසන් වීමෙන් පසු, යුක්තිය නොලැබ - තම ආදරණීයන්ට සිදුවූයේ කුමක්දැයි නොදැන අතුරුදහන් වූවන්ගේ ඥාතීහු 200 කට වැඩි ගණනක් මියගොස් ඇත. ඔවුන්ගේ වියෝවන් සමඟ යුක්තිය උදෙසා වන ඔවුන්ගේ සටන ද අවසන් විය. අතුරුදහන් වූ තම ඥාතීන්ට යුක්තිය ලබා ගැනීම සඳහා බලයේ සිටින්නන්ට බලපෑම් කරමින් උද්ඝෝෂණවලට සහභාගී වූ සිය ගණනක් දෙනාට ආර්ථික අභියෝග, රෝගාබාධ, පවුලේ තත්වයන් සහ ආරක්ෂක අංශවල මෙන්ම විමර්ෂණය කරන්නන්ගේ කෲරත්වය හේතුවෙන් යුක්තිය උදෙසා වන තම අරගලය අඛණ්ඩව කරගෙන යාමට විශාල බාධාවක් වී ඇත.
එබැවින්, යුක්තිය කෙරෙහි වන ඔවුන්ගේ අරගලය අඛණ්ඩව කරගෙන යාමට සහ අතුරුදහන් වූවන්ගේ මතකයන් නොනැසී තබා ගැනීමට මෙම අන්තර්ජාල අනුස්මරණ වේදිකාව නිර්මාණය කර ඇත.
එසේම, රට තුළ පවතින සහ ඉදිරියට ගෙන ඒමට නියමිත නීති හරහා මිනිසුන්ගේ රැස්වීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ස්මරණය කිරීමේ නිදහස ප්‍රතික්ෂේප කරමින් ඇත. මේ තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට එකතු වී ඔවුන්ගේ අරගලය ඉදිරියට ගෙන යාමට නොහැකි විය හැකිය. ඒ අනුව, මෙම අවකාශය ඔවුන්ගේ හඬට, ඔවුන්ව සිහිපත් කිරීමට සහ අරගලය අඛණ්ඩව කරගෙන යාමට ඉඩප්රස්ථාවක් සළසා දෙන අතර, මෙය සත්‍ය සහ යුක්තිය උදෙසා වන ඔවුන්ගේ අනවරත අරගලයට සහයක් වනු ඇත.