කිසිම රාජ්‍යක් අපිට මානව හිමිකම් දීලා නෑ බන්දේසියක දාලා.

අපිට ගැටලුවක් තියනවා අපේ ප්‍රකාශනයේ අයිතිය අපේ නීතිය පිළිගන්නවද කියලා. මොකද අපේ ඇදුම,කොන්ඩය පවා ප්‍රකාශනයක් 

නීතිය මොනවද කලාව ගැන දන්නේ ?

මේ රටේ අයිතිවාසිකම් අපිට ලබාදෙනවට වඩා අයිතිවාසිකම් කප්පාදු කරන්නේ කොහොමද කියන කොනයෙන්ම තමා හැම විටම කටයුතු කරලා තියෙන්නේ 

 ICCPR පනත 2007 වසරේදී කෙටුම්පත් කර නීතිගත කරේ ජනතාවගේ මානව හිමිකම් ලබාදීමට නොවේ; බොහෝ පටු අරමුනක් පදනම් කරගෙන, ඇත්තටම ඕන වුණේ ජාත්‍යන්තරයට පෙන්වීමට සහ GSP+ ලබා ගන්න.

විකල්ප (vikalpa.org) වෙබ් අඩවිය  විසින්  ජුලි මස 23 වන අගහරුවාදා  සවස 4 සිට 6 දක්වා, කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල රැස්විම් ශාලාවේදී  “ ICCPR සහ ප්‍රකාශනයේ නිදහස”  මැයෙන් සංවාදයක් සංවිධානය  කරන්නට සිදු වී තිබුණේ විශේෂයන්ම කළු ජූලියේ අඳුරු මතකයට වසර 36 ක් ගෙවෙන මොහොතක, ලේඛක ශක්තික සත්කුමාර ෆේස්බුක් හි පළ කරන ලද කෙටි කතාවක් හේතුවෙන් දවස් 114 ක් සිරගතව සිටින මොහොතක සහ පාස්කු ප්‍රහාරයෙන් තෙමසක් ඉකුත්ව ඇති මොහොතකය.

1976 මාර්තු මස 23 වන දින බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව රාජ්‍ය පාර්ශවයක් වීමෙන්ද,  1980 වසරේ  ජුනි 11 වන දින සිට ශ්‍රී ලංකාව ඒ සඳහා එකඟත්වය දීමෙන් පසු, මිට වසර 12 පෙර ශ්‍රී ලංකාව තුළ එහි ඇතුළත් යම් නීතින් දේශීය නීතියට අපරානුමත කිරීමෙන්ද පනතක් ලෙස සම්මත වේ. එනම් ශ්‍රී ලංකාවේ දැනට  ක්‍රියාත්මක වන 2007 අංක 56 දරන  සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ  ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත බවට එය පත් වේ.

පැනනැගී ඇති සුවිශේෂී  සමාජීය, දේශපාලන හා ආර්ථිකමය තත්වය  හමුවේ; කෙසේ වෙතත් මේ තරම් කාලයක් පුරා, අත්‍යන්ත වශයෙන්ම මේ පනත සම්බන්ධයෙන් ගිලිහි ගිය මහජන අවධානය,  රාජ්‍ය තන්ත්‍රය විසින් එම පනත  ප්‍රකාශනයේ නිදහස සිමා කිරීමේ (Restrictions to Freedom of Expression)  උපක්‍රමයක් ලෙස භාවිතා කිරීම  හේතුවෙන් නැවත කරළියට පැමිණ තිබේ.

විශේෂයෙන්ම  1948 දෙසැම්බර් 10 වන දින පැරිස් හි දී සම්මත කර ගත් ” මානව හිමිකම් පිලිබඳ විශ්ව ප්‍රකාශනයේ “ (UDHR), 19 වන වගන්තියේ ( Article 19 ) හි පැහැදිලිව ප්‍රකාශනයේ නිදහස පළමු පරම්පරාවේ අයිතියක් ලෙස ( first Generation Right ) ලෙසම පිළිගන්නා තත්වයක් තුළ ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් තවමත් අපට සටන් වැදීමට සිදුව තිබිම කනගාටුවට කාරණයකි.

කෙසේවෙතත් තවමත් ප්‍රකාශනයේ නිදහස සහ මෙම පනත සම්බන්ධව මහජන සංවාදය කොළඹ කේන්ද්‍රීය සංවාදයක් පමණක් බවට පත්ව තිබිම අප හමුවේ ඇති පැහැදිලිව ම ජයගත යුතු අභියෝගයක්ව පවතී. ඒ නිසාම මෙම අභියෝගය හමුවේ, මේ සම්බන්ධව වන දෙවන පියවර ලෙස නුදුරේදීම උතුරු පළාතේදී දෙමළ භාෂිත ප්‍රජාව සමඟ මෙම සංවාදය ඉදිරියට ගෙන යාමට අපේක්ෂිතය.

විශේෂයන්ම අප සංවිධානය කළ පළමු සාකච්ජාවේ මුලික අදහස් දැක්වීම සඳහා  මානව හිමිකම් ක්‍රියාකාරකයෙකු  සහ සමාජ ක්‍රියාධරයෙකු වන නීතිඥ ලක්ෂාන් ඩයස් , තිර පිටපත් රචකයෙක්, ගී පද නිර්මාපකයෙක් , කවියෙක් සහ නීති උපාධිධරයෙකු වන  කසුන් මහේන්ද්‍ර හීනටිගල , ලේඛිකාවක, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරියක, නිෂ්පාදකවරියක සහ රංගන ශිල්පිනියක වන නදිකා බණ්ඩාර සහ සමාජ මාධ්‍ය  ක්‍රියාකාරිකයෙක්   සහ සාමකාමී සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සඳහා පෙනී සිටින ක්‍රියාකාරිකයෙකු වන දමිත් චන්දිමාල් සහභාගී විය. ඉන් අනතුරුව පැමිණි සිටි පිරිස අතරින් සංවාදය ඉදිරියටම ගෙන යාම  සඳහා විවිධ සාධනීය අදහස් හා යෝජනා මතු විය.

සම්පුර්ණ සංවාදය – (FB Live)  https://www.facebook.com/Vikalpasrilanka/videos/772493453167346/

Youtube- පැවති සාකච්ජාවේදී නීතිඥ ලක්ෂාන් ඩයස් හා කසුන් මහේන්ද්‍ර හිනටිගල  දැක් වු අදහස්

දර්ශන -Knoweldge Box

 

ජායාරුප ඇල්බමය සඳහා  පිවිසෙන්න .